BREAKING NEWS

ඉස්ලාම් දහමේ හර පද්ධතීන්ට එරෙහිව මතුවන සියලු අන්තවාදයන් පරදවමු! සමගියෙන් – සහජීවනයෙන් බැදෙමු !

ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධානතම අධ්‍යාත්මික උත්සවය වන රාමසාන් උත්සවය අදට(24) යෙදී තිබේ. රාමසාන්හි වැදගත්ම චාරිත්‍රය වන්නේ උදෑසන හිරු උදාවන මොහොතේ සිට සවස හිරු බැස යන තෙක් පුරා මසක් සුරකින උපවාස ශීලය බව දැක ගත හැකිය. උපවාස ශීලය රැකීම තුළින් සමාජයේ වෙසෙන අන්‍යයන්ගේ කුසගින්න සහ පැවැත්ම පිළිබඳව මෙනෙහි කරමින් පුළුල් ජීවිතාවබෝධයක් ලබා ගනිමින් අසරණවූවන්ට පිහිට වීමට ඉස්ලාම් බැතිමතුන් පෙළ⁣ඹෙන බව පැහැදිලිය.

මේ අනුව පෙනී යන්නේ රාමසාන් උපවාසයෙහි යෙදෙමින් ඉස්ලාම් බැතිමතුන් මෙම මසක කාලය තුළ සහෝදරත්වය, සහජීවනය, පරිත්‍යාගය, ඉවසීම වැනි උසස් ජීවන ගුණාංගයන් මැනවින් වර්ධනය කරගන්නා බවය. ඉහත කී උසස් ජීවන ගුණාංග අනුව යමින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගමන්මග නිවැරදිව තේරුම්ගනිමින් සමගියෙන්, සහජීවනයෙන් ජීවත්වීමට මෙරට ඉස්ලාම් බැතිමතුන් කටයුතු කරන බව ද පෙනී යයි. ඒ අතරම ඉහත කී ඉස්ලාම් දහමේ හර පද්ධතීන්ට පටහැනිව මතුවන සුළු පිරිසකගේ අන්තවාදයන් ද දැක ගත හැකිව තිබේ.

එහෙයින් මුළුමහත් ලෝකයම ඉමහත් ව්‍යවසනයකට මුහුණපා ඇති මේ මොහොතේ ඊට එක හුයකින් බැඳී මුහුණ දීමට මෙන්ම ඉහත කී අන්තවාදී පුවණතාවන් පැරදවීමට ද ලාංකේය ඉස්ලාමීය ජන ප්‍රජාව මෙවර රාමසාන් දිනයේදී අදිටන් කරගත යුතුව තිබේ.

සුබ රාමසාන් දිනයක්!

විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය
2020.05.24

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*