BREAKING NEWS

කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක…

කර්මාන්ත ඇමැති විමල් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක..

කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට අයත් ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් පවත්වාගෙන යන පේෂකර්ම සහ ඇඟලුම් ක්ෂේත්‍රයට අයත් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව විමසා බැලීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24) රත්මලාන පිහිටි එම ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය ශ්‍රී ලංකාවේ පේෂකර්ම, ඇඟලුම් සහ පාවහන් කර්මාන්තයට අයත් මානව සම්පත් පුහුණු කිරීමේ ආයතන අතර ප්‍රමුඛතම ස්ථානයක පවතින අතර මේ වන විට ඊට අදාළ පූර්ණකාලීන හා අර්ධකාලීන පාඨමාලා 80ක් පමණ පවත්වාගෙන යනු ලබයි. ඒ අතර NVQ 4 මට්ටමේ පාඨමාලා 07ක් ද වේ.

සිය නිරීක්ෂණ චාරිකාව අවසානයේ අමාත්‍යවරයා අයතනයේ ඉහළ කළමනාකාරීත්වයෙන් විමසා සිටියේ, පේෂකර්ම හා ඇඟලුම් ක්ෂේත්‍රයේ උපාධි පිරිනැමීමට ආයතනයට මේ වන විට පවතින බාධා කවරේද? යන්න ය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් සපුරා ගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය සහිතව උපාධි පාඨමාලා ලබා දෙන ආයතනයක් බවට මෙම ආයතනය පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතු බව වීරවංශ මහතා එහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන අංශ වන කෙඳි කැටීමේ අංශය, රෙදි ගෙතුම් අංශය, රෙදි විවීම් අංශය, බතික් සහ වර්ණ ගැන්වීම් අංශය, පාවහන් හා සම්භාණ්ඩ අංශය, ඇඟලුම් කර්මාන්ත අංශය, විලාසිතා අංශය, කාර්මික තාක්ෂණ අංශය සහ තත්ව පරීක්ෂණාගාරය මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

ශ්‍රී ලංකාවේ පේෂකර්ම හා ඇඟලුම් ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගත් ආයතනයේ පස් අවුරුදු සැලැස්ම (2021-2025) සහ කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහාශ්‍රිත ඇඟලුම් නිෂ්පාදකයන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මෙහිදී විමල් වීරවංශ මහතා වෙත පිළිගැන්වීම ද සිදු විය.

මෙහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ පාඨමාලා හදාරන සිසුන්ගෙන් සැදුම්ලත් ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලබන සාහිත්‍ය උත්සවයට සිය ආයතනය වෙත පැමිණි අමාත්‍යවරයාට ඇරයුම් කිරීමට එම පිරිස කටයුතු කිරීම ය. මෙහිදී විමල් වීරවංශ මහතා ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ ඇරයුම පිළිගෙන එම ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේ දෙවන භාගය වන විචාරාත්මක ගීත සන්ධ්‍යාවට සහභාගී වීමට එකඟ විය.

මෙම අවස්ථාවට ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුරේෂ් ඉන්දික යන මහත්වරු සහ සියලු අංශ ප්‍රධානීහු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ.
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය.
2020.09.24

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*