­
BREAKING NEWS

“මේ මොහොතේ කළ යුත්තේ ‘බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින් තම මව්බිමට අවඥාවෙන් හිනැහීම හෝ අවමන් කිරීම නොවෙයි, අප සතු වූ වටිනාම සම්පත යොදා ගනිමින් මව්බිම ඉහළටම ඔසවා තැබීමයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මේ මොහොතේ කළ යුත්තේ ‘බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින් තම මව්බිමට අවඥාවෙන් සිනාසීම හෝ අවමන් කිරීම නොවන බවත් අප රට සතු වටිනාම සම්පත වූ ‘මානව සම්පත’ යොදා ගනිමින් වත්මන් විදේශ විනිමය අර්බුදය ජය ගනිමින් මව්බිම ඉහළටම ඔසවා තැබීම බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ(27) පැවති රත්මලාන ශ්රී ධර්මාරාම විද්යාලයේ ශිෂ්ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

‘අපි බංග්ලාදේශයට ඉදිරියෙන්…’

“වසා දැමීමේ තර්ජනයකට ලක්ව තිබූ මෙම පාසල එම තත්ත්වයෙන් මුදවාගෙන සාර්ථකව ඉදිරියට ගෙන යාමට කැප වූ වත්මන් විදුහල්පතිතුමා ප්රමුඛ පාසලේ ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්ය පිරිස, දෙමව්පියන් ඇතුළු සියලුදෙනාට අපගේ කෘතවේදීත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනු ලබනවා. අප රට සතු වටිනාම සම්පත, මානව සම්පතයි. මේ දිනවල සමහරු අපේ රටට හිනැහෙනවා, අවමන් කරනවා, ‘බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින්. ඔවුන් බංග්ලාදේශයටත් වඩා පහළ තැනකට අපේ රට දමලයි එවැනි ප්රකාශ සිදු කරන්නේ. බංග්ලාදේශය විශාල විදේශ විනිමය සංචිතයකට හිමිකම් කීවාට ඒ සමාජය ඉතා දුක්ඛිත තත්ත්වයේ ජීවිත ගෙවන සමාජයක්. එහි අගනුවර වෙසෙන ජනයාට අවුරුද්දකට වතාවක් පැමිණෙන ගංවතුර නිසා කඳු මුදුනක තනාගත් තාවකාලික නිවාසවල ජීවත් වීමට සිදු වෙනවා. එම රටේ උපදින දරුවන් හැමෝටම උප්පැන්න නැහැ. අපේ රටට පැමිණ තිබූ ඇතැම් ඇඟලුම් සමාගම් බංග්ලාදේශයට ගියාට, ළමා ශ්රමය සූරාගෙන කන්න බැහැ, කියා ලෝකෙ යම් යම් නීතීන් තිබුණාට බංග්ලාදේශයේ වැඩට එන කෙනා ළමයෙකු ද නැද්ද, කියා සොයා ගන්න බැහැ, ඔවුන්ට උප්පැන්න සහතිකයක් නැති නිසා. ලෝකයේ බොහෝ රටවල සමාජයන් භාර නොගන්නා රැකියා භාරගන්නා සමාජයක් එහි තිබෙන්නේ. ඒ නිසා ලාංකේය සමාජය, බංග්ලාදේශ සමාජය සමඟ ගත්තාම ඉන්නේ බොහෝ ඉදිරියෙන්.

‘නිදහස් අධ්යාපනය’

අපේ රටේ නිදහස් අධ්යාපනයක් සහ නිදහස් සෞඛ්ය සේවයක් තිබුණත් බංග්ලාදේශය වැනි දකුණු ආසියාවේ බොහෝ සමාජවල එවැනි සේවාවන් දක්නට ලැබෙන්නේ නැහැ. නිදහස් අධ්යාපනය සහ නිදහස් සෞඛ්ය සේවාව අපේ රටට උරුම වුණේ බටහිර අධිරාජ්යවාදීන් අපේ රට ගිල ගැනීමට කලින්. රජවරු මේ රට පාලනය කරද්දී සෑම රටවැසියෙකුම නිශ්චිත රාජකාරියක්, කර්මාන්තයක් සඳහා යොදවා තිබුණා. අපේ රටේ කුල ක්රමය ඇති වුණේ ඒ නිශ්චිත රාජකාරියත් සමඟයි. හින්දු සංස්කෘතියේ නම් කුල ක්රමය ඇති වී තිබෙන්නේ හින්දු කෝවිලට සිදු කරන වත්පිළිවෙත් අනුව. ඉහළම කුලයේ අය පූජාව කරනවා. මල් ගෙනයන, පාවහන් බලාගන්න අයට වෙන වෙනම කුල තිබෙනවා. එතැනදී කෝවිලට තිබෙන සම්බන්ධය අනුවයි කුල ක්රමය හැදුනේ. නමුත් අපේ රටේ කුල ක්රමය, රාජකාරි ක්රමයත් සමඟ ඇති වූවක්. ඉන් අදහස් වන්නේ සෑම රටවැසියෙකුටම ජීවනෝපාය මාර්ගයක්, ස්වයංව රැකෙන්න ක්රමවේදයක් තිබුණු බවයි. අපේ රටේ අධ්යාපනයත් එහිම කොටසක්ව තිබුණා. එදා හිටියේ දිසාපාමොක් ඇඳුරුතුමන්ලා. ශිෂ්යයන් තමන්ගේ නිවසට ගෙන්වාගෙන, නතර කරගෙන අධ්යාපනය ලබාදීම එතුමන්ලා සිදුකළා. දැනුම පමණක් නොවෙයි ශික්ෂණයත් ලබා දීලා නැවත ඒ සිසු දරුවන් සමාජයට භාරදීම එහිදී සිදු වුණා. ඒක ගුරුවරයා කේන්ද්ර කරගත් අධ්යාපනයක්. ගුරුවරයා ඇසුරෙහි වැඩෙමින් ලැබූ අධ්යාපනයක්. ඒ අධ්යාපනයට මිලක් තිබුණේ නැහැ.

‘නිදහස් සෞඛ්ය සේවය’

එදා අපේ සෞඛ්ය ක්රමය ගත්තත් ඒ ආකාරයමයි. ලෝකයේ ඉපැරණිම රෝහල් පද්ධතිය හා ඊට අදාළ අධ්යාපන ආයතනය මිහින්තලයේ ආශ්රිතව සිදුකළ පුරාවිද්යා කැණීම්වලදී සොයා ගැනීමට හැකිව තිබෙනවා. එම රෝහල තුළ තිබී හමුවෙනවා ශල්යකර්ම උපකරණ කට්ටලයක්. එම ශල්යකර්ම උපකරණ කට්ටලය තුළ තිබී හමුවෙනවා ශරීර අභ්යන්තරය ඡේදනය කිරීමට භාවිතා කරන කතුරක්. එම කතුරේ යටිතලය කොටයි, උඩු තලය දිගයි. අද නූතන ශල්ය වෛද්යවරයා ශරීර අභ්යන්තරය ඡේදනය කිරීමට භාවිතා කරන කතුරත් ඒ ආකාරයමයි. එදා ඒ ලෝකේ ඉපැරණිම රෝහල වූ මිහින්තලා රෝහලේ සිටි අපේ ශල්ය වෛද්යවරයා, නූතන ශල්ය වෛද්යවරයා භාවිතා කරන සැත්කම් කතුරට සමාන කතුරක් භාවිතා කළ බවයි ඉන් කියැවෙන්නේ.

සෙල්ලිපි අධ්යයනය කරන විට බදුලු සෙල්ලිපියේ කියවෙනවා, එම රෝහල් සතු පොදු සම්පත් පරිහරණය කළ ආකාරය ගැන. ‘එම රෝහල් භූමියේ වගා කර ඇති පළතුරුවල ඵලදාව රෝහලෙන් පිටතට ගෙන නොයා යුතුයි. රෝගීන් වෙනුවෙන්ම යොදාගෙන යුතුයි.’ යන්න එහි තැනක සඳහන්. සමකාලීන විදේශිකයන් රෝහල් කියන සංකල්පය අවබෝධ කර නොගත්තු කාලයක අපේ රටේ රෝහල් තිබුණා. ඒ රෝහල්වලින් රටවැසියාට නොමිලේ ප්රතිකාර කළා.

ඒ තරම් ඈත කාලයක සිටයි අපට නිදහස් අධ්යාපනය සහ නිදහස් සෞඛ්ය සේවයක් තිබුණේ. එම අධ්යාපනය අද මේ පාඨශාලා අධ්යාපනයට වඩා වෙනස්. එදා භික්ෂූන් වහන්සේලා වැඩ සිටියා වාස්තු විද්යාව ඇතුළු වෙනත් විෂයයන් හදාරපු. මහා දාගැබ් වැනි ඉදිකිරීම්වලදී ඉංජිනේරුවකු හෝ වෙනත් වෘත්තිකයකු ලෙස භික්ෂූන් වහන්සේලා කටයුතු කරලා තිබෙනවා. අද ඔබගේ වැඩිහිටියන් සමාජ මාධ්ය තුළ ප්රතිචාර දැක්වීම් සිදු කරනවා. කල්පනා කරලා බලන්න, ලෝකයේ පළමුවෙන්ම කලා කෘතියක් දිහා බලලා ඒ ගැන ප්රතිචාර දැක්වීමට ඉඩක් හදලා දුන්නේ කවුද? සීගිරියේ නිර්මාණ ශිල්පීන්. එහෙම බැලුවාම ඒක තමයි ලෝකය පළමු ‘මුහුණු පොත’.

‘වෙනම භාෂාවක් – වෙනම අක්ෂර මාලාවක්’

අපේ භාෂාව ගත්තත් ලෝකයේ ‘ඇ’ ශබ්දය නගන්න පුළුවන් එකම භාෂාව එයයි. ඉංග්රීසි භාෂාවෙන් ‘ඇ’ ශබ්දය නගන්න අක්ෂරයක් හෝ වෙනත් සංකේතයක් නැහැ. ලෝකයේ බොහෝ භාෂාවන්ට අක්ෂර මාලාවක් නැහැ. ප්රංශ, ජර්මන්, ඉතාලි, ස්පාඤ්ඤ ඇතුළු බොහෝ භාෂාවලට ඇත්තේ ඉංග්රීසි අක්ෂර මාලාවයි. නමුත් අපි මේ පුංචි රටේ වෙනම අක්ෂර මාලාවක් සමග වෙනම භාෂාවකුත් හදාගත්තා.

මට මෙහිදී සිහිපත් වෙනවා ප්රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මිය පැවසූ කතාවක්. ඇය බ්රිතාන්යයේ පැවති ජාත්යන්තර සිනමා උළෙලකට ගියාම එහිදී කටහඬ පිළිබඳ වැඩමුළුවකට සහභාගි වීමට ලැබී තිබෙනවා. එම වැඩමුළුව මෙහෙයවූ බ්රිතාන්ය මහාචාර්යවරයා එක්තරා අක්ෂර මාලාවක් පෙන්වා විමසා තිබෙනවා ‘මේ අක්ෂර මාලාව කුමන භාෂාවේ ද?’ කියා. එවිට අනෝජා වීරසිංහ මහත්මිය ඉතා උද්යෝගයෙන් පිළිතුරු දී තිබෙනවා ‘මේ සිංහල භාෂාවේ අක්ෂර මාලාව. මම ආවේ ඒ රටින්’ කියා. එවිට එම මහාචාර්යවරයා කිව්වාලු ‘ඔබ හරි වාසනාවන්තයි. මේ අක්ෂර මාලාව හසුරුවන්න පුළුවන් කෙනාට ලෝකෙ ඕනෑම භාෂාවක්, හඬක් හසුරුවන්න පුළුවන්’ කියා.

ඒ නිසා මානව සම්පත් තමයි අපට තිබෙන වටිනාම සම්පත. ඒ මානව සම්පතේ කොටසක් තමයි අපේ දරුවෝ. අපේ දරුවන්ට තමයි අපේ පරම්පරාවලට ජය ගැනීමට නොහැකි වූ අභියෝගයන් ජයගැනීමට හැකියාව තිබෙන්නේ. අද ලෝකයේ ඉහළතම විද්යාඥයන් අතර අපේ රටවැසියන් ඉන්නේ මේ මානව සම්පතේ තිබෙන හැකියාවේ තරම කොතරම්ද, කියා පෙන්වමින්. මේ සිටින සියලුම දරුවන්ට, රට හමුවේ වන අනාගත අභියෝග ජයගත හැකි පිරිසක් බවට පත්වීමට, හැකියාව ලැබේවා’යි පතනවා.”

බස්නාහිර පළාත් අතිරේක අධ්යාපන අධ්යක්ෂ උදය කුමාර, පිලියන්දල කලාප සහකාර අධ්යාපන අධ්යක්ෂිකා රේණුකා රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ද සහභාගිත්වයෙන් පැවති මෙම නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අවසානයේ පූජ්ය අත්තිඩියේ සෝමානන්ද හිමියන්ගේ ධන පරිත්යාගයෙන් පාසල් දරුවන් වෙනුවෙන් පාවහන් මිලදී ගැනීමේ වවුචරපත් ලබාදීම ද සිදු කෙරිණි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,මාධ්ය ලේකම්,ජාතික නිදහස් පෙරමුණ,2022-01-28

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*