BREAKING NEWS

අපේ රූපලාවණ්‍ය වෙළෙඳපොළට කඩා වැදීමට ඉන්දියාවට ඉඩ දෙන්නේ නැහැ

”අපේ රූපලාවණ්‍ය වෙළෙඳපොළට කඩා වැදීමට ඉන්දියාවට ඉඩ දෙන්නේ නැහැ”
-ඇමති විමල් කියයි

ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා පෙන්වා ඇති ශිල්පීන් සිටින, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම, කිසිසේත්ම ඉඩ නොදිය යුතු ක්රි්යාවක් බවත් පසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ඇති ‘නැචුරල් සැලෝන්’ ඉන්දියානු සමාගමේ රූපලාවණ්‍යගාර 700ක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (03) දින අමාත්‍යංශයේදී ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාව අනතුරුව මාධ්‍ය සමඟ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

”පසුගිය කාලයේ විශාල ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පළ වුණා ඉන්දියාවේ නැචුරල් සැලෝන් ආයතනය ශ්‍රී ලංකාව තුළ රූපලාවණ්‍යගාර 700 ක් පිහිටුවීමට යන බවට. මේ වනවිටත් එවැනි රූපලාවණ්‍යගාර අටක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති බවත් දැන ගැනීමට ලැබුණා. එවැනි පසුබිමක් තුළයි අද ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමයේ නියෝජිතයන් මා සමග සාකච්ඡාවකට පැමිණියේ. ඔවුන්ගෙන් මා වෙත ඉල්ලීම් දෙකක් ඉදිරිපත් වුණා. පළමුවැන්න ‘මේ රටේ රූපලාවණ්‍ය හා කේශාලංකරණ ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත හාර ලක්ෂයකට අධික පිරිස පිළිබඳ වගකියන රාජ්‍ය ආයතනයක්, ඒ පිළිබඳව අධීක්ෂණය කරන රාජ්‍ය යාන්ත්‍රණයක් මෙතෙක් නැහැ, ඒ නිසා එවැනි අධිකාරියක් පිහිටුවන්න” කියන එක. ඒ ඉල්ලීම අපි ඉතා ධනාත්මකව පිළිගත්තා. ඒ අනුව අමාත්‍යාංශය ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වෙනවා. ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවලට දැනටත් මෙවැනි රාජ්‍ය යාන්ත්‍රණ තිබෙනවා.

දෙවැන්න තමයි ඉහත කී ඉන්දියානු රූපලාවණ්‍ය ආයතන පිහිටුවීම නතර කිරීම. පසුගිය ආණ්ඩුව කාලයේ ආයෝජන මණ්ඩලය මගින් ලබාදුන් අනුමැතියක් අනුව තමයි මේ ඉන්දීය රූපලාවණ්‍යගාර පිහිටුවීම සිදුවන්නේ. දැනට අටයි, දිගටම ක්‍රියාත්මක වුවහොත් එය 700ක් දක්වා ව්‍යාප්ත වේවි. අපේ රට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින රටක්. අපේ රූපලාවණ්‍ය ශිල්පීන් ජාත්‍යන්තර මට්ටමින් සිය දක්ෂතා දක්වා තිබෙනවා. ඒ නිසා මේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මා බලාපොරොත්තු වෙනවා අමාත්‍ය මණ්ඩලය තුළ මේ පිළිබඳ සාකච්ඡා කරලා දේශීය රූපලාවණ්‍ය ශිල්පීන්ට එල්ලවන මේ තර්ජනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගන්න. කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර ඉදිරියේදී මේ පිළිබද අවසන් තීරණය ගන්නවා.”

මෙම සාකච්ජාවට අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ රංජිත්, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීහු වන ප්‍රේමසිරි හේවාවසම්, ෂාම් සුරියහෙට්ටි, දමිත් කුමාර, කුසුම්සිරි ජයවීර, ආචාර්ය ශිරූ විජේමාන්න, ජැකී අපොන්සෝ යන මහත්ම මහත්මිහු ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020.01.03

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*