BREAKING NEWS

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් ඉටු කිරීම සඳහා සූදානම් කිරීම අපේ බලාපොරොත්තුවයි

“ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් ඉටු කිරීම සඳහා සූදානම් කිරීම අපේ බලාපොරොත්තුවයි”

– අමාත්‍ය විමල් වීරවංශ

දේශීය කර්මාන්තකරුවාට හිතකර ප්‍රතිපත්ති සහිත පාලනයක් බිහිව තිබෙන මේ මොහොතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙරට කාර්මික පුනරුදයක විශාල භූමිකාවක් ඉටු කිරීම සඳහා සූදානම් කිරීමට කර්මාන්ත විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් බලාපොරොත්තු වන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (06) සවස රත්මලාන පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙරට කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා ජාලගතව ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය, ඒ වෙනුවෙන් වන ප්‍රධානතම ජාතික ආයතනය බැවින් නව කර්මාන්තකරුවන් බිහි කිරීම, පවතින කර්මාන්ත ප්‍රවර්ධනය, විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත් නිෂ්පාදන සඳහා කර්මාන්තකරුවන්ට මඟ පෙන්වීම වෙනුවෙන් කැපවිය යුතු බව ද මෙහිදී වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම මෙම ආයතනයට පැවරී ඇති ඉහත කී විශාල භූමිකාවට අවශ්‍යය සහයෝගය ලබා දී එය සෑම අතින්ම ශක්තිමත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරී ඇති වගකීම කඩිනමින් ඉටු කිරීම සඳහා මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පිළිබඳව පමණක් නොව අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ආයතන පිළිබඳව පැමිණිලි තමාට ලැබී ඇති බවත් ඉබ්‍රාහිම් නමැති සහරාන්වාදී ත්‍රස්තවාදී කල්ලියට සම්බන්ධ පුද්ගලයා සමග කෙරුණු ගනුදෙනු සම්බන්ධයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඈඳුණු පැමිණිල්ලක් ද ඒ අතර වන බවත් වීරවංශ ඇමතිවරයා සඳහන් කළේ එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්රීශ්නයකට පිළිතුරු දෙමිනි.

කෙසේ වෙතත් එම ගනුදෙනු ස‍‍ඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සම්බන්ධ යැයි තමා නොසිතන බවත් ඒ සියලු පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර, වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමට අදාළ බලධාරීන්ට ඒවා යොමු කර ඇති බවත් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ පිහිටි ආහාර තාක්ෂණ විද්‍යාගාරය, ඉංජිනේරු යන්ත්‍රෝපකරණ මධ්‍යස්ථානය හා රොබෝ තාක්ෂණ මධ්‍යස්ථානය මෙන්ම ඊට යාබදව පිහිටි හස්ත කර්මාන්ත මණ්ඩල (ලක්සල) ප්‍රදර්ශනාගාරය හා භාණ්ඩ මිලදී ගැනීම් අංශය ද ජාතික මෝස්තර මධ්‍යස්ථානය ද මෙම නිරීක්ෂණ චාරිකාවේදී ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන, හස්ත කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් මයුර ද සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,
ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*