BREAKING NEWS

ඇහැලියගොඩ එපිටවත්ත කම්හල් ගම්මානයේ ගැටළුවලට ඇමති විමල්ගෙන් විසඳුම්!

රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ එපිටවත්ත සාම්ප්රදායික කම්හල් ගම්මානයෙහි ලෝහ ආශ්රිත කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටළු රැසකට විසඳුම් ලබාදීමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා කටයුතු කරනු ලැබීය.

අද(19) සවස ඉහත කම්හල් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව හඳුනාගත් ගැටළු සඳහා මෙසේ විසඳුම් ලබාදීමට අමාත්යවරයා පියවර ගත්තේය. රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා මගින් කම්හල් ගම්මානයේ කර්මාන්තකරුවන් සිය ගැටළු අමාත්යවරයා වෙත යොමු කර තිබූ අතර ඒ අනුව කඩිනමින් මෙම නිරීක්ෂණ චාරිකාව යොදාගෙන තිබිණි.

ලෝහ ආශ්රිත කර්මාන්තයන්හි යෙදී සිටින පවුල් 18ක් මෙම ගම්මානයේ වෙසෙමින් සිය නිෂ්පාදන කටයුතු සිදු කරන අතර ඔවුනට අවශ්ය සේවා සපයන පොදු සේවා මධ්යස්ථානයෙහි තිබෙන ප්රධාන යන්ත්රය වන ‘බෙල්ට් හැමර් යන්ත්රය’ දිගු කලක් තිස්සේ අක්රියව පැවතීම ප්රධාන ගැටලුව විය. මෙම අවස්ථාවට එක්ව සිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමුව පළාත් ප්රාදේශීය අධ්යක්ෂ එස්. ඒ. ජී. සේනානායක මහතාට අමාත්යවරයා උපදෙස් දෙනු ලැබූයේ කඩනමින් එම යන්ත්රය යථා තත්ත්වයට පත් කර දෙන ලෙසත් මෙම කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා නව බෙල්ට් හැමර් යන්ත්රයක් ද පොදු සේවා මධ්යස්ථානයට ලබාදෙන ලෙසත්ය.

එසේම පොදු සේවා මධ්යස්ථානයේ පවතින අනෙකුත් යන්ත්රසූත්ර නවීකරණය සහ මෙම කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණික දැනුම ලබාදීම තුළින් ඔවුන්ගේ නිෂ්පාදනවල නිමාව ඉහළ මට්ටමකට ගෙන ඒමට පියවර ගන්නා ලෙස ද අදාළ නිලධාරීන්ට විමල් වීරවංශ මහතා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ ය.

මෙම නිරීක්ෂණ චාරිකාවට රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දීපාල් ගුණසේකර යන මහත්වරු සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණමාධ්ය ලේකම්,කර්මාන්ත අමාත්යාංශය,2022-02-19

 

About the Author

Leave a Reply

*