BREAKING NEWS

“ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ජනාධිපතිවරණයේ දී තම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීමට ගත හැකි නිවැරදිම පියවර ගැනීමට උත්තර ලංකා සභාගය සූදානම් බවත් කිසිවෙකුත් ඒ පිළිබඳව කිසිදු චකිතයක් තබා නොගත යුතු බවත් එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

රටට බිහිසුණු ඉරණමක් අත් කර දුන් සාම්ප්‍රදායික මොඩලය පසෙක දමා, මේ පොළොව ඉල්ලා සිටින සැබෑ ප්‍රතිපත්තියක්, සැබෑ වැඩපිළිවෙළක් හා සැබෑ නායකත්වයක් සහිතව මේ තීරණාත්මක කඩඉම පසු කිරීමට උත්තර ලංකා සභාගය සූදානම් බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඊයේ(11) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවති උත්තර ලංකා සභාගයේ විරෝධතා සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අමතමින් එහි සභාපතිවරයා ඉහත අදහස් පළ කළේය.

වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අමතා උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම් යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් සංජීව ධම්මික යන මහත්වරු ද උත්තර ලංකා සභාගයේ අනුශාසක විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ද අදහස් දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අප මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කළේ රට තුළ ප්‍රවර්ධනය වෙමින් පවතින අවදානම පිළිබඳව පොදු මහජනතාව දැනුම්වත් කිරීම ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපගේ යුතුකමක් සහ වගකීමක් වන නිසයි. අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අර්බුදකාරි මොහොත පාවිච්චි කරමින් ඉන්නේ, දිගු කාලයක සිට ඔහු අතේ පවතින ‘රටට අහිතකර න්‍යාය පත්‍රය : රිගේනින් ශ්‍රී ලංකා සැලැස්ම’ දිගේලි කිරීමටයි.

‘රිගේනින් ශ්‍රී ලංකා’ යළිත්…

ඔබ දන්නවා, ‘රිගේනින් ශ්‍රී ලංකා සැලැස්ම’ මීට ඉහත දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ ආණ්ඩුව තුළ තිබුණා. එම සැලැස්ම ඇතුළේ ‘රාජ්‍ය ආයතන විකුණාගෙන කන්නේ කොහොමද? රටේ ස්වෛරිත්වය බිඳවට්ටන්නේ කොහොමද?’ යන කාරණා ඇතුළත් වුණා. දැන් මේ මුළුමහත් සමාජය වෙළාගත් දරුණු ආර්ථික අවපාතය, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාවිච්චි කරමින් ඉන්නවා, මීට කලින් අතේ තිබුණත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ මේ රටේ අනාගත පැවැත්මට ඉතාමත් හානිකර ඒ පරගැති සැලැස්ම දිගේලි කරන්න.

“ෂොක් ට්‍රීට්මන්ට් එක”

තවත් පැත්තකින් කියන්න පුළුවන් ‘මේක අපේ මුළුමහත් සමාජයටම ෂොක් ට්‍රීට්මන්ට් එකක්(Shock Treatment) දෙමින් ඉන්න වෙලාවක්’ කියා. කවුරුත් ‘තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාම’
යන දුෂ්කර ‘කඹයෙන්’ ගැට ගහලා තියෙන, කාටත් රටක්, ජාතියක්, අනාගතයක් ගැන කල්පනා කිරීමට ඉඩකඩ අහිමි වෙලා තිබෙන වෙලාවක තමයි ‘ෂොක් ට්‍රීට්මන්ට් එක’ දෙන්නේ. මුළුමහත් සමාජයක් ෂොක් ට්‍රීට්මන්ට් එකකට ගොදුරු වුණාම ‘වෙන්නේ මොකක්ද?’ කියලා හිතන්න ඕනෑකමක්, රුදාවක් නැති වෙලා යනවා. බලන්න, දුම්රිය දෙපාර්තමේන්තුවේ සිගරට් එකක් මුල්කරගත් ප්‍රශ්නයක් නිසා හදිසි වර්ජනයක් පටන් ගන්නවා. ෂොක් ට්‍රීට්මන්ට් එකට ගොදුරු වී සිටින, දුම්රිය වර්ජනය නිසා දුම්රිය නැතුව ස්ටේෂමේ සිටින දුම්රිය මගියා කියන්නේ ‘මේක විකුණලා දාන්න ඕනේ’ කියලයි. ඒ වර්ජන ක්‍රියාමාර්ගයයි, ඒකට මගියා දක්වන ප්‍රතික්‍රියාවයි දෙකම එකතු වෙලා අන්තිමට එළියට එන්නේ ආණ්ඩුවට ඕනෙ කතාව.

අද බලශක්තිය, දේශපාලන “ටූල්” එකක්!

ඒ වගේම අපි දන්නවා ලිට්රෝ සමාගම කියන්නේ පාඩු ලබන රාජ්‍ය සමාගමක් නොවන බව. එමගින් බිලියන 6ක පමණ ලාභාංශයක් මහා භාණ්ඩාගාරයට දෙනවා. අද මේ ආණ්ඩුව ඒක ‘ගෙඩිය පිටින් දෙන්න’ ගැනුම්කරුවකු එනතුරු බලා ඉන්නවා. මේක ඉතාමත් බරපතලයි. බලශක්තිය හා බැඳුණු ආයතන ඉවක් බවක් නැතිව විදේශීයකරණය කළාම මේ රටේ දේශපාලන ස්වාධිපත්‍යයට බරපතළ අවදානමක් අනාගතයේ දී ඇති වෙනවා. නිදසුනක් ලෙස සිකීමය දෙස බලන්න. සිකීමය එක වෙලාවක ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් සම්මත කරගන්න හදනවා, චීනය සමග එකතු වීමට. මේක දැනගත් වහාම ඉන්දියාව එම යෝජනාව සිකීමයේ පාර්ලිමේන්තුවට එන්න කලින් තමන්ගෙන් විදුලිය හා ගෑස් ලබාගන්නා සිකීමයට එම සැපයුම් නතර කරනවා. එතැනදී බලශක්ති සැපයුම ඉදිරියට දමලා ඉන්දියාව තමන්ට වුවමනා දේ කරගන්නවා. ගෝඨාභය රාජපක්ෂ පාලනයට මෙවැනි ඉරණමක් අත්වීමට ගොඩක් හේතු තිබුණත් ඒ අතරේ ‘ගෑස් ටැංකි පුපුරන එක’ ආසන්නතම හේතුවක් වුණේ නැද්ද? රනිල් වික්‍රමසිංහ ආවාට පස්සෙ එක ගෑස් ටැංකියක්වත් පුරන්නේ නැහැනේ. ඒ නිසා තේරුම් ගන්න, අද බලශක්තිය කියන්නේ දේශපාලන ටූල් එකක්. යම් රටක තමන් අකමැති පාලනයක් නම් තිබෙන්නේ එක පෙරළා දමන්න මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්.

ඉන්දියාව අතට යන මිල්කෝ

අද මේ රාජ්‍යය සතු ඉතාමත් වටිනා සම්පතක් වන මිල්කෝ සමාගම ඉන්දියාවේ රාජ්‍ය සමුපකාර සමාගමක් වූ අමූල් සමාගමට දෙන්න හදනවා. අපි දන්නවා මිල්කෝ කියන්නෙත් පාඩු ලබන, හොම්බෙන් යන රාජ්‍ය සමාගමක් නොවෙයි කියා. දැන් බලන්න, ඉන්දියානු රාජ්‍ය සමුපකාර සමාගමකට ලංකාවට ඇවිත් මිල්කෝ සමාගම පවත්වාගෙන යන්න පුළුවන්; නමුත් අපට බැහැ. මේ ආණ්ඩුව අද මේ අර්බුදය පාවිච්චි කරනවා රාජ්‍යය සතු සංවේදී ආයතන සියල්ල විදේශිකයන්ට දීලා, ඒකෙන් ‘අතයට කුට්ටියක්’ අරන් සෑහීමට පත්වෙන්න. ඒ කරලා ඔවුන් ජනතාවට කියනවා, ‘මේවා අපට පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා පෞද්ගලීකරණයට යන්න වෙනවා. රාජ්‍ය වියදම වැඩියි නේ’ කියා. රාජ්‍ය වියදම අඩු කරගන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන් කාලා ද?

හරි ප්‍රතිපත්තියක හිටගත්තොත්…

දැන් බලන්න, ‘එක් තීරයක් – එක් මාවතක්’ ජාත්‍යන්තර ව්‍යාපෘතිය හා බැඳුණු ඉතියෝපියාව වසර පහක පමණ කාලයක් තුළ ඉතාමත් විශාල සංවර්ධනයක් ලබාගන්නවා. ඒ රටේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට අද විදුලි දුම්රිය පවා යොදා ගැනෙනවා. ඒ වගේම ගෝත්‍රික මරාගැනීම් පවා තිබුණු රටක් වූ රුවන්ඩාව ද අද වනවිට විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. එම රටවල් කෙලින් හරි ප්‍රතිපත්තියක හිටගත්තු නිසා, ඒ ප්‍රතිපත්තිය මත ඉඳගෙන නිවැරැදි තීන්දු ගත්තු නිසා අද එවැනි ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.

ඉන්දියාව 05 වැනි ආර්ථික බලවතා වූ හැටි!

අද ඉන්දියාව ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්ව සිටිනවා. නමුත් 1991 වන විට ඉන්දියාවේ තිබුණේ සතියකට අවශ්‍ය සංචිත ටික විතරයි. ඒ කියන්නේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා සතියකට සෑහෙන්න මුදල පමණයි ඉන්දියාවේ සංචිතවල තිබුණේ. අද අපි මුහුණ පා සිටින අර්බුදයට සමාන හෝ ඊටත් වඩා වැඩි ආර්ථික අර්බුදයකටයි ඉන්දියාව 1991දී මුහුණ දුන්නේ. එවකට ඉන්දියානු අගමැති වජ්පායි මහතා, ඉන්දියානු ආර්ථික විශේෂඥයෙකු වූ මන්මෝහන් සිංට මුදල් අමාත්‍ය ධුරය දුන්නා. ඉන්දියාව එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් ඒ සඳහා අවශ්‍ය සැලසුම හැදුවේ මන්මෝහන් සිං ප්‍රමුඛ ඉන්දියානු ආර්ථික විශේෂඥ කණ්ඩායම විසිනුයි. ඔවුන් හදපු සැලැස්මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමයි එදා ඉන්දියාව කළේ. ඉන්දියාව එදා ගත්තු දිගුකාලීන ආර්ථික මූලෝපායික තීරණ නිසා තමයි අද ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්ව සිටින්නේ. නමුත් මේ රටේ පාලකයන් ගනිමින් සිටින්නේ, අපි අද සිටින්නේ ‘හතරගාතෙන් වැටිලා’ නම්, හෙට ‘හොම්බෙන් යෑමට’ සිදු වන තීන්දුයි. එහෙම තැනකට රට ඇදලා දමන සැලැස්මක් තමයි මේ අයට ඇත්තේ.

රටම බද්දේ ගොදුරක් බවට…

ලබන අවුරුද්දෙ වැට් බද්ද සියයට 18ක් කිරීමට සූදානම් වන ආණ්ඩුව, බදු නොගෙවා පැහැර හරින අයගේ ෆයිල් හොයාගෙන ඒවා අය කරගන්න බලන්නේ නැහැ. ලේසිම වැඩේ තමයි රටේ සියලුදෙනාම බද්දේ ගොදුරක් බවට පත්කිරීම. ලබන අවුරුද්ද කියන්නේ බදු බර තව වැඩි වන අවුරුද්දක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා තව දවස් කීපයකින් මුදල් ඇමැතිවරයා හැටියට උජාරුවට අයවැය අරගෙන පාර්ලිමේන්තුවට එනවා. ඒකෙ වෙන කිසිවක් නැහැ. තිබෙන්නේ බදු කොහොමද තව වැඩි කරන්නේ? ජනතාව කොහොමද තව තවත් පීඩාවට පත් කරන්නේ? කියන එක විතරයි. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් තුන්වැනි ණය වාරිකයත් ගත්තාම අපිට පුළුවන් ආයෙත් ණය ගන්න. එහෙම අරන් ජනාධිපතිවරණය කිට්ටු කරලා කෙටිකාලීන සහන ටිකක් දීලා, අපි තමයි වැඩ්ඩෝ කියලා පෙන්නුවාම හරි’ වැනි ඉතාමත් පටු අරමුණකින් යන ගමනක් තමයි මේ පාලකයන්ට තිබෙන්නේ. අද මේ ඉතාමත් පටු අරමුණකින් ගැන ගමනට කිසිදු විචාර බුද්ධියකින් තොරව අත් ඔසවන තැනකට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැටිලා තිබෙනවා.

“දකුණු ආසියාවේ එකම රට : මහා භාරතය?”

අප ඉහත කී බොහෝ ලාභ ලබන රාජ්‍ය ආයතන මිලදී ගැනීමට සූදානම්ව සිටින්නේ ඉන්දියානු සමාගම් විසිනුයි. දැන් බලන්න, ඉන්දියානු මුදල් ඇමැතිවරිය පසුගියදා ලංකාවට ආවා. ඇය ජයසිරි මහා බෝ සමිදුන්, දළදා හාමුදුරුවන් වැඳ පුදා ගත්තා, මහනායක හිමිවරුන් බැහැ දුටුවා. එහි වරදක් නැහැ. නමුත් මීට කලින් එහෙම කරනවා අපි දැකලා නැහැ. ඒ අතරේ දැන් ඉන්දියාව අපට කියනවා, ‘යාත්‍රා සේවයක් තිබෙනවා ඉන්දියාවට ගිහින් දවසින් එන්න පුළුවන්. චිත්‍රපටියක් බලලා, සාරියකුත් ගන්න පුළුවන්, කියලා. ඉන්දියාව විශ්වාස කරනවා, ‘දකුණු ආසියාවේ තිබිය යුත්තේ එකම රටයි. ඒ තමයි මහා භාරතය. ලංකාව ඇතුළු අනෙක් රටවල් මහා භාරතයේ කොටස්’ කියා. ඉන්දියාව මේ මානසිකත්වය ඇතුළේ ඉඳගෙන, අපේ මේ ආර්ථික අර්බුදය මැද්දේ, ඔවුන්ගේ අරමුණ ඉටුකර ගන්න බලනවා.

රනිල්ගේ ‘වහ බෝතලය’ එපා!

අපට ජාතියක් ලෙස දශක තුන හතරක් තිස්සේ දිගේලි වුණු යුද්ධයකින් එළියට එන්න පුළුවන් වුණා. ඒ මහා බිහිසුණු අවධිය පසු කරලා මේ රට යළි සුරක්ෂිත රටක් බවට පත් කිරීමට පුළුවන් වුණා. ඒ නිසා අපේම වූ සැලැස්මකින් – න්‍යාය පත්‍රයකින් මේ ආර්ථික වළෙන් ගොඩඑන්න පුළුවන්. එහෙම නැතුව වික්‍රමසිංහ ආණ්ඩුව ‘තිත්ත කසාය කියා අපට පොවන වහ බෝතලයට’ අපි තවදුරටත් ඉඩ තැබිය යුතු නැහැ.

නිවැරදිම පියවර…

ඒ වගේම අපි අවධාරණය කරනවා, ‘උත්තර ලංකා සභාගය ඉදිරි ජනාධිපතිවරණයේදී අප අදහන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න ගතහැකි නිවැරදිම පියවර ගන්නවා. ඒ ගැන තමුන්නාන්සේලා කිසිදු සැකයක් තියාගන්න එපා!’ කියලා. මේ රට ගැන හැඟීමක්, දැනීමක් නැති පරාධීන නායකයන්ගෙන් මේ රටට බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි බිහිසුණු ඉරණමක් පමණයි.

ඒ නිසා ඒ සාම්ප්‍රදායික මොඩලය පැත්තකට දමලා මේ පොළොව ඉල්ලන විදිහේ සැබෑ ප්‍රතිපත්තියක්, සැබෑ වැඩපිළිවෙළක්, සැබෑ නායකත්වයක් ඇතුව මේ තීරණාත්මක කඩඉම පසු කරන්න උත්තර ලංකා සභාගය සූදානම්”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-11-12

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*