BREAKING NEWS

“එන්ජීඕ ඩොලර් කාක්කන් යොදවා ගෙන නඩු දමා එජාපය උත්සාහ කරන්නේ ගෝඨාභය මැතිවරණ සටන් බිමේදී හමුවීම වළක්වා ගන්නයි”

“එන්ජීඕ ඩොලර් කාක්කන් යොදවා ගෙන නඩු දමා එජාපය උත්සාහ කරන්නේ ගෝඨාභය මැතිවරණ සටන් බිමේදී හමුවීම වළක්වා ගන්නයි”

– ජානිපෙ නායක විමල් වීරවංශ

ගෝඨාභය රාජපක්ෂයන්ගේ හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ බොරු අර්ථකථන සිදු කරමින් රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් කාක්කන් යොදවා ගෙන නඩු දමා හැකිනම් අධිකරණය ද නොමඟ යවමින් එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ කරන්නේ තමන්ගේ ප්‍රතිවාදී බලගතු අපේක්ෂකයා මැතිවරණ සටන් බිමේදී හමුවීම වළක්වා ගැනීමට බවත් එම උත්සාහය කිසිදු ලෙසකින් සාර්ථක වීමට ඉඩ නොතබන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා සපථකර සිටියේය.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී අද (30) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ සපථ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“සජිත් ප්‍රේමදාස නැමති අපේක්ෂකයා එනවාට අපි වඩාත් කැමති වුණේ ‘ජනතාව’ නැමැති සටන් බිමේදී මෙම සටන තීරණය කළ හැකි නිසයි. නමුත් ජනතාව තුළින් මේ සටන ජයග්‍රහණය කරනවා වෙනුවට ව්‍යාජ කරුණු අධිකරණය හමුවේ තබලා අධිකරණයත් යොදාගෙන ඔවුන් බලනවා, තමන්ගේ බලගතු ප්‍රතිවාදියා සටනට එන එක වළක්වා ගන්න. ගෝඨාභය රාජපක්‍ෂයන්ට එරෙහිව පසුගිය කාලය පුරාම විවිධ චෝදනා ඉදිරිපත් කරමින්, නඩු පවරමින්, සිරගත කිරීමට උත්සාහ කරමින් සිටි මේ අයට ජනාධිපතිවරණයට දින නියම වන තෙක් කිසිවක්ම කර ගන්න බැරි වුණත් යළි ‘තුට්ටු දෙකේ’ එවැනි වැඩකට අත ගහලා තිබෙනවා.

අපි දැක්කා රාජිත සේනාරත්න ඇමතිවරයා පසුගිය දිනක මාධ්‍ය හමුවේ අදහස් දක්වපු අන්දම. ඔහු අධිකරණ තීන්දුව අතේ තබාගෙනයි කතා කළේ. (හඬපටය මාධ්‍යයට ඇසීමට සලස්වයි) රාජිත සේනාරත්න මෙතැනදී කියන්නේ ‘ගෝඨභයට හැඳුනුම්පත් දෙකක් තිබෙනවා. එසේ හැඳුනුම්පත් දෙකක් තිබීම නීතිවිරෝධියි. ඒ හැඳුනුම්පත් දෙක භාවිතා කරලා පාස්පෝට් එකක් හදාගත්තත් එකත් වැරදියි. ඒ නිසා මෙයා රට වැසියෙක් නෙවෙයි’ කියලයි. ඒක තමයි රාජිත සේනාරත්නගේ ප්‍රධාන තර්කය.

‘හැඳුනුම්පත් දෙකේ ඇත්ත කතාව’

ඔය තර්කය අනුව බැලුවොත් මේ තිබෙන්නේ මගේ අලුත් හැඳුනුම්පත (ජාතික හැඳුනුම්පත මාධ්‍ය වෙත පෙන්වයි) මට පරණ හැඳුනුම්පතක් තිබුණා. එය සාක්කුවට දිය වී ගියාට පසු තමයි මේ අලුත් හැඳුනුම්පත ගත්තේ. මගේ මුල් ජාතික හැඳුනුම්පතේ අංකය ලෙස තිබෙන්නේ 700670805V කියලයි. අලුත් එකේ තිබෙන්නේ එහෙම නෙවෙයි. 197006700805 ලෙසයි. දැන් කාටහරි තර්ක කරන්න පුළුවන් ‘විමල්ගේ නිවැරදි හැඳුනුම්පත් අංකය කුමක්ද? කියන එක ගැන. ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ දේ තමයි මේ ආකාරයට මැතිවරණ කොමිසමට අදාළ ලේඛන භාර දෙද්දි තම ජාතික හැඳුනුම්පතේ අලුත් අංකය ලියන ගමන් පැරණි අංකයත් වරහන් ඇතුළේ ලියා තිබීම. මේක තමයි මේ හැඳුනුම්පත් දෙකක් කියා අර්ථකථනය කරන්නේ.

මේ විදියට බොරු අර්ථකථනයන් කරලා, මහජනතාවගේ මනස දූෂණය කරලා, පුළුවන් නම් අධිකරණයත් නොමඟ යවලා මේ අය බලන්නේ තමන්ට ඉන්න ප්‍රතිවාදී බලගතු අපේක්ෂකයා සටන් බිමේදී හමුවන එක වළක්වන්නයි. දැන් එක්සත් ජාතික පක්‍ෂයේ සියලු මහත්වරු පිළිගෙන ඉවරයි ‘ගෝඨාභයත් එක්ක බිමේ සටන් කරන්න ගියොත් නියත වශයෙන්ම පරදිනවා’ කියන එක. 2010 දී ඇතැම් නීතිඥ මහතුන් පෙන්වා දුන්නා ‘අධිකරණ ක්‍රියාමාර්ග මගින් ජනාධිපතිවරණයට ෆොන්සේකා මහතා ඉදිරිපත්වීම වැළැක්වීමට ප්‍රමාණවත් කරුණු තිබෙනවා’ කියා. නමුත් මට හොඳටම මතකයි එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවා ‘අපි එහෙම කරන්න උවමනා නැහැ. එහෙම කළොත් අපට ඔහු හා මැතිවරණ සටන් බිමේදී තරඟ කරන්න බැහැ කියන මතයයි පැතිර යන්නේ. ඒ නිසා අපි මැතිවරණ සටන් බිමේදී ඔහු සමඟ තරඟ කරලා ඔහුව පරාජයට පත් කරමු’ කියා.

තමන්ගේ ප්‍රතිවාදියා සමග මුහුණට මුහුණ ලා සටන් කිරීමට හැකියාවක් තිබෙනවා කියා ආත්ම විශ්වාසයක් ඇත්නම් උසාවි ගානේ රස්තියාදු වෙන්න උවමනා නැහැ. අද රාජ්‍ය නොවන සංවිධානවල බංකොලොත් ඩොලර් කාක්කන් ටික තමයි මේ වැඬේට ඉස්සරහට දමලා තිබෙන්නේ. ඇතැම් බටහිර තානාපති කාර්යාල ගෝඨාභය රාජපක්ෂයන් මේ රටේ ජනාධිපති ධුරයට පත්වීම ‘භයානක සිහිනයක්’ සැබෑ විමක් ලෙසයි දකින්නේ. ඔවුන් තමන්ගේ එජාප කුලී සේනාංකය සහ රාජ්‍ය නොවන සංවිධාන බත්බැලයන් ටිකයි යොදාගෙන, හැකිනම් අධිකරණයත් අල්ලාගෙන උත්සාහ කරනවා ඒ ‘බියකරු සිහිනය’ සැබෑවීමට ඉඩ නොදීමට. ඔවුන් දන්නවා, ‘ගෝඨාභය මැතිවරණ සටන් බිමට ආවොත් දිනන එක වළක්වන්න තමන්ට බැහැ’ කියලා. ඒ නිසයි ඔවුන් ව්‍යාජ නීති තර්ක මවා පාලා ගෝඨාභය රාජපක්‍ෂයන් නාමයෝජනා භාරදීම වැළැක්වීමට මේ ආකාරයට බංකොලොත්, පහත් උත්සාහයක නිරත වෙන්නේ.

‘නඩුවේ තීන්දුව රාජිත දන්නවාද?’

දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය සිදු කළ පාපොච්චාරණයෙන් සහ සුහද ගම්ලත් හිටපු සොලිසිටර් ජනරාල්වරයා අනාවරණය කළ කරුණුවලින් මේ රටේ ගෙවීගිය වසර හතරහමාර තුළ නීතිය ක්‍රියාකත්මක වූ පහත් ආකාරය පිළිබඳව අප කාටත් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා රාජිත සේනාරත්නලා උත්සාහ ගන්නේ හැකිනම් අධිකරණයත් අල්ලාගෙන ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ඉදිරිපත් වීම වළක්වන්නයි. ‘ගෝඨාභයට එන්න වෙන්නේ නැහැ’ කියන්නේ රාජිත සේනාරත්න ද මේ නඩුව අහන්නේ? ‘මේ විදියට ගරු අධිකරණයට සහ විනිශ්චයකාරතුමන්ලාට අපහාස කරන්න එපා’ කියලා අපි රාජිත සේනාරත්නට කියනවා. ‘ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට එන්න වෙන්නේ නැහැ’ කියා මතයක් හදලා පාවෙන ඡන්දදායකයන් තුළ සැකයක් සහ අපේ බලවේග තුළ මන්දෝත්සාහීභාවයක් හදන්නයි මේ අය උත්සාහ ගන්නේ.

ඔබ කිසිදු ලෙසකින් සැකයක් තියා ගන්න එපාෟ ගෝඨාභය රාජපක්‍ෂයන් තම හැඳුනුම්පත, ගමන් බලපත්‍රය හා පුරවැසිභාවය පිළිබඳ සියලු ලේඛන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒවා පිළිබඳ එම නිලධාරීන් සෑහීමකට පත්ව තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂයන් තමන්ගේ අතින් සිදුවිය යුතු සියල්ල නිස්සරාණාධ්‍යාශයෙන් ඉටු කරමින් සිටිනවා. අපි අපේ භූමිකාව දිවිහිමියෙන් ඉටු කරමු. මේ සටන විජයග්‍රහණයෙන් අවසන් කරමු. නොවැම්බර් 16 වැනිදා සිට මේ අවමන් සහගත ගමන නවතා නව මාවතක් ඔස්සේ අපේ ගමන යමු!”

මෙම ජනහමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/09/30

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*