BREAKING NEWS

දිනූ නිදහස අනතුරේ!

දිනූ නිදහස අනතුරේ!
ජාතික රාජ්‍යය රැක ගැනීමට පෙරට එන්න!

1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන් අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමීනියන් නිදහස’ ලෙස හැඳින්වූ එම තත්වය වෙනස් වූයේ පළමු ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹි 1972 මැයි 22 වැනිදා සිට ය. ඒ කෙසේ වෙතත් අද වන විට එකී නාමික නිදහස අප වෙත ලැබී වසර 71 කි.

1948 දී ලේ බිදුවකුඳු නොහෙලා නිදහස ලැබූ බව ඇතැමුන් පැවසුව ද සත්‍යය එය නොවේ. 1818 ඌව – වෙල්ලස්ස නිදහස් අරගලය හෙවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පැන නැගි ප්‍රථම නිදහස් අරගලයේ දී වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා ඇතුළු අපගේ වීර මුතුන්මිත්තන්ගේ රුධිරය ඒ තුළ තිබේ. එසේම 1848 පැන නැගි දෙවැනි නිදහස් අරගලයේ දී ද වීර පුරන්අප්පු වැනි වීර මුතුන්මිත්තන් දහස් ගණනින් දිවි පිදූහ. අප රටක්, ජාතියක් ලෙස සමරනු ලබන්නේ එවන් කුරිරුකම්, සැහැසිකම් මැද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙතින් ලද නිදහසක් බව අමතක නොකළ යුතු ය.

මෙ‍සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙතින් නිදහස් කර ගත් අපගේ ජාතික රාජ්‍යය යළි අපෙන් උදුරා ගැනීමේ දිශාවට ඇදගෙන යාමට සමත් බලවත් අධිරාජ්‍යවාදී මෙහෙයුමක් අද වන විට ක්‍රියාත්මක ය. ඒ අනුව එක් පසෙකින් අපගේ ජාතික රාජ්‍යය කතාකරන භාෂා ඔස්සේ බෙදා දමන ෆෙඩරල් ව්‍යවස්ථා මෙහෙයුමක් අවසන් අදියර තෙක් පෙරට පැමිණ තිබේ.

අනෙක් පසින් ඇමරිකා එක්සත් ජනපදය අප ජාතික රාජ්‍යය, තම ඉන්දු – පැසිෆික් කලාපයේ යුදමය තිප්පොළක් බවට පත්කර ගැනීමේ බලගතු මෙහෙයුමක් සූක්ෂමව හා වේගවත් අයුරින් දියත් කරමින් සිටියි. ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ‘සහස්‍ර අභියෝග ආයතනය’ ද අරලියගහ මන්දිරයේ සිට වැඩ අරඹා තිබේ. ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිමය බාධාවකින් තොරව තම මෙහෙයුම සඳහා යොදාගත හැකි සැලසුම් ඔවුන් විසින් සකසා ආණ්ඩුවට ලබාදී අවසන් ය.

එපමණක් නොවේ. ඇමරිකා නීතිය යටතේ ක්‍රියාත්මක වන, කොළඹ වරාය හා ත්‍රිකුණාමල වරාය යා කරන කිලෝ මීටර් 200ක් දිග දිස්ත්‍රික්ක 07 හරහා දිවෙන, අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අයත් වන ආර්ථික පටියක්, ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක ඇමෙරිකානු – ඉන්දීය – ජපන් ආයෝජන කලාපයේ ඉදිවන නාවික යාත්‍රා සහ සබ්මැරීන සඳහා සේවා සපයන මධ්‍යස්ථානයක්, එහි සවි කරන අධි බල සම්ප්‍රේෂණ කුළුණ මෙන්ම ත්‍රිකුණාමල වරාය අසල නවතා තිබෙන, ගුවන් යානා 100ක් රඳවා තැබිය හැකි දැවැන්ත ඇමරිකානු යුද නැවක් හෙවත් පාවෙන කඳවුරක් යන මෙවලම් ද තම උවමනාව සඳහා සූදානම් කරමින් සිටී.

මේ බලගතු අධිරාජ්‍යවාදී දැල එළීමට එරෙහි අරගලය මේ මොහොතේ රටත්, ජාතියත් ඉදිරියේ තිබෙන කේන්ද්‍රීයම අරගලය බවට විවාදයක් නැත. ඒ අභියෝගය ජය ගැනීම සඳහා සියලු භේද ඉවත දමා සියලු ප්‍රගතිශීලී සිංහල, දෙමළ, මුස්ලිම් ජනනායකයන්, රටවැසියන් පෙරට ආ යුතුව තිබේ.

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2019.02.04

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*