BREAKING NEWS

“පාසල් සහ හමුදා නිල ඇඳුම් රෙදි නිෂ්පාදනය දේශීයව සිදු කිරීමට ගත් තීරණය සමඟ මෙරට රෙදිපිළි කර්මාන්තයේ ස්වර්ණමය යුගයකට පාර කැපේවි” – දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය කර්මාන්ත ඇමතිට තුති පුදමින් පවසයි

පාසල් සහ හමුදා නිල ඇඳුම් රෙදි දේශීය රෙදිපිළි කර්මාන්තකරුවන්ගෙන් ලබා ගැනීමට ජනාධිපතිතුමන් ඇතුළු අමාත්ය මණ්ඩලය ගනු ලබන තීරණය හේතුවෙන් මෙරට රෙදිපිළි කර්මාන්තයේ ස්වර්ණමය යුගයකට පාර කැපෙන බවත් එම යුග මෙහෙවරට උර දී සිටින කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාට ප්රණාමය පුද කර සිටින බවත් දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (29) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා හමු වූ අවස්ථාවේ දී එම සංගමය වෙනුවෙන් ක්රියේටිව් ටෙක්ස්ටයිල් සමාගමේ අලෙවි අධ්යක්ෂ සරත් බී. හෙට්ටිගේ මහතා මාධ්ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

එහි දී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“ලංකාවේ දේශීය රෙදිපිළි නිෂ්පාදනයේ ඉතිහාසය විජය රජු මෙරටට පැමිණෙන අවස්ථාවේ කුවේණිය කපු කටිමින් සිටි යුගය දක්වා දිවෙනවා. මෙරට දේශීය රෙදිපිළි කර්මාන්තයේ ස්වර්ණමය යුගයේ වැල්ලවත්ත, පූගොඩ, තුල්හිරිය වැනි පේෂකර්ම කර්මාන්ත ශාලා රැසක් අප සතුව පැවතියා. නමුත් ඒ සියල්ල විවෘත ආර්ථිකයත් සමඟ වැසී ගියා. මේ වන විට කුඩා, මධ්යම හා මහා පරිමාණ දේශීය රෙදිපිළි කර්මාන්ත ශාලා 1500ක් පමණ මෙරට තුළ පවතිනවා. ඒවා බොහොම අමාරුවෙන් තමයි අද පවත්වාගෙන යන්නේ.

2005 දී ‘දේශීය රෙදිපිළි බෙදාහැරීමේ කමිටුව’ යනුවෙන් අමාත්ය මණ්ඩල කමිටුවක් පිහිටුවනු ලැබුවා. එම කමිටුව විසින් තමයි පාසල් නිල ඇඳුම් රෙදි දේශීයව නිෂ්පාදනය කර ලබා ගැනීමට තීරණය කරනු ලැබුවේ. එම තීරණයත් සමඟම දේශීය රෙදිපිළි කර්මාන්තය තුළ යළි ප්රබෝධයක් ඇති වුණා. ඒ අනුව මුලින්ම අමු රෙදි ආනයනය කරලා මෙරට තුළ සුදු කරලා, වර්ණ ගන්වලා, මුද්රණ කටයුතු කරලා බෙදාහැරීම් කිරීම ඇරඹුණා. නමුත් පසුව එම තීරණය වෙනස් වෙලා 2015 සිට පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර ලබා දීමට පටන් ගත්තා. ඉන්පසුව යළිත් දේශීය රෙදිපිළි කර්මාන්තය බිඳ වැටුණා.

’වවුචරය වෙනුවට යළිත් පාසල් නිල ඇඳුම් රෙදි’

අපි 2019 නොවැම්බරයේ කර්මාන්ත අමාත්ය ධුරයට පත් වූ විමල් වීරවංශ මැතිතුමා මේ සම්බන්ධව දැනුම්වත් කළා. ඉන්පසුව අපේ ගැටලුව හඳුනාගත් ඇමතිතුමන්, අපේ කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යෑමට මැදිහත් වුණා. දෙවරක්ම මේ ගැටලුව විසඳා දෙන්න ජනාධිපතිතුමන් හමු වී කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා කර දුන්නා පමණක් නොවෙයි එතුමන් ද එම සාකච්ඡා සඳහා මූලිකත්වය ගත්තා. ඒ වගේම හිටපු අධ්යාපන අමාත්ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා සමඟ සාකච්ඡාවක් සූදානම් කර විමල් වීරවංශ මහතා ද ඊට සහභාගී වුණා. එහි දී තමයි යළි වවුචරය වෙනුවට පාසල් නිල ඇඳුම් ලබා දීමට එකඟතාව පළ වුණේ. ඉන්පසු විමල් වීරවංශ මැතිතුමන් ඒ පිළිබඳව කැබිනට් පත්රිකාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

‘කැබිනට් අනුමැතිය’

මෙබඳු ජයග්රාහී පියවර කිහිපයකට පසුව තමයි ඊයේ (29) දින ජනාධිපතිතුමන් පාසල් නිල ඇඳුම් සහ හමුදා නිල ඇඳුම් රෙදි නිෂ්පාදනය සිදු කළ හැකි දේශීය රෙදිපිළි කර්මාන්ත ශාලා නිරීක්ෂණය සඳහා විමල් වීරවංශ අමාත්යතුමන් සමඟ පැමිණියේ. මෙහි දී සියලු දේශීය රෙදිපිළි කර්මාන්ත ශාලා නිරීක්ෂණය සංකේතවත් කරමින් මහා පරිමාණ දේශීය රෙදිපිළි කර්මාන්ත ශාලා කිහිපයක් ඊයේ නිරීක්ෂණයට බඳුන් වූවා. මා දුටුවා ඊයේ මෙම නිරීක්ෂණයෙන් පසුව පැවැති කැබිනට් මණ්ඩලයේ දී වවුචර වෙනුවට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමේ කැබිනට් මණ්ඩල පත්රිකාවට අනුමැතිය ලැබී ඇති බව.

‘දේශීය රෙදිපිළි කර්මාන්තයේ ස්වර්ණමය යුගයකට පාර කැපෙනවා’

එසේම ඊයේ දිනයේ දී අප අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා හිටියා, හමුදා නිල ඇඳුම් රෙදි සහ කැලෑ නිල ඇඳුම් රෙදි, හමුදා නිලධාරීන්ගේ අභිමතය පරිදි වර්ණ ගන්වා ලබා දීමේ හැකියාව අප සතු බැවින් යළිත් එම නිල ඇඳුම් සඳහා දේශීයව නිපදවන රෙදි යොදා ගැනීමට කටයුතු කරන ලෙසට. මේ සියලු කටයුතු සඳහා සක්රියව දායක වුණු විමල් වීරවංශ මැතිතුමන්ට දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමය ලෙස අපේ ප්රණාමය පුද කරනවා. ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු සමස්ත අමාත්ය මණ්ඩලය ගනු ලබන මෙවැනි දෑහිතකාමී තීරණ නිසා දේශීය රෙදිපිළි කර්මාන්තයේ පමණක් නොවෙයි, සියලු දේශීය කර්මාන්තවල ස්වර්ණමය යුගයකට පාර කැපේවි, කියන විශ්වාසය අපට තිබෙනවා.”

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*