BREAKING NEWS

“රට වැටී ඇති වළෙන් ගොඩගත හැක්කේ ‘සයනයිඞ් කරල ගෙල බැඳි දරුවා ද’ පාසල වෙත යොමු කළ ප්‍රතාපවත් නායකත්ව සුසංයෝගයට පමණයි”

“රට වැටී ඇති වළෙන් ගොඩගත හැක්කේ ‘සයනයිඞ් කරල ගෙල බැඳි දරුවා ද’ පාසල වෙත යොමු කළ ප්‍රතාපවත් නායකත්ව සුසංයෝගයට පමණයි”

– ජානිපෙ නායක විමල් වීරවංශ

සෑම සියලු අතින් බිඳ වට්ටවා ඇති රට යළි ගොඩගත හැක්කේ තිස් අවුරුදු යුද්ධය නිමකොට ‘සයනයිඞ් කරල ගෙල බැඳි දරුවා’ යළි පාසල වෙත යොමු කළ, සිංහල, මුස්ලිම් දරුවන්ට බෝම්බ බියෙන් තොරව පාසල වෙත යාමට මඟ පෑදූ ගෝඨාභය – මහින්ද සුසංයෝගයට මිස අන් කිසිවකුට නොවන බවත් ඒ සුසංයෝගය දිනවීම තම දරුවාට සුරක්‍ෂිත හෙට දවසක් උදාකර දීමට වෙහෙසෙන මෙරට සියලු මිනිසුන්ගේ අත්හළ නොහැකි වගකීමක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (09) අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජය තහවුරු කරන රැලි මාලාවේ පළමුවැන්න අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අප සමඟ අත්වැල් බැඳ ගැනීමත් සමඟම අද අපි මේ සටන පටන් ගන්නේම ලක්‍ෂ 65ක ඡන්ද පදනමක් සහිතවයි. අපි අද සිට නොවැම්බර් 16 දක්වා එතැනින් ඉහළටයි යන්නේ. නියත ජයග්‍රහණයක් – විජයග්‍රහණයක් වෙතයි අපි ළඟා වෙන්නේ. ජයග්‍රහණය සමරන්න නොවැම්බර් 16 වැනිදා තෙක් බලා සිටීමට වෙන්නේ නැහැ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේදී එහි විරෝදාර ජනතාව ‘ජයග්‍රහණයේ පෙරවදන’ ලියනවා. ඒ ‘ජයග්‍රහණයේ පෙරවදන’ 11 වැනිදා රාත්‍රියේ රට පුරා රතිඤ්ඤා පත්තුකර ඉතා ඉහළින් සැමරිය යුතුව තිබෙනවා. (අත්පොළොසන්)

අද අපි මේ රැස්ව සිටින්නේ ජයග්‍රහණ වඩවාලන භුමියකයි. ඒ වගේම රටම ආදරය කරපු මිනිස්සු ආරක්‍ෂා කරපු භූමියකයි. ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ මෙන්ම ධර්මයේ සඳහන් වන පරිදි බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව විශ්වයට විහිදී ගිය ධාතූන්වහන්සේලාගෙන් ‘ද්‍රෝණයක්’ ධාතූන් වහන්සේලා වැඩ සිටන උතුම් රුවන්වැලිසෑය ද මේ පුණ්‍යභූමියේදී අප නෙත ගැටෙනවා. මහරජ ගැමුණු එළාරගේ බලකොටු 32ක් බිමට සමතලා කර ජයග්‍රහණයේ කොන්තය සිටුවූ භූමිය ද මෙයයි. අපට තිබෙනවා, දීපිය පිළිබඳ වංශ කතාවක් දීප වංශය, ස්ථූප පිළිබඳ වංශ කතාවක් ස්ථූප වංශය. ඒ වගේම වසර 2500ක ලිඛිත ඉතිහාසයක් සහිත මහා වංශයක් සතු එකම රට මේ රටයි. උපැවිදිව, දකුණු ඉන්දියානු ආක්‍රමණිකයාට විරුද්ධව සටන් වැදිලා, ඔවුන් පලවා හැරීමට නායකත්වය දුන් ධාතුසේන රජු පසුව මහා වැව් බැඳලා මේ රටේ කෘෂිකර්මාන්තයට පණ දුන්නේ මේ පුණ්‍යභූමියේ සිටයි. මෙය රට රැකපු මිනිස්සු ජීවත් වූ භූමියක්.

‘විජිතපුර බලකොටුවට අයත් පුරාවිද්‍යා ස්මාරක වනසන යුගයක්’

මහරජ දුටුගැමුණුට සවිය සැපයූ විජිතපුර බලකොටුවට අයත් පුරාවිද්‍යා ස්මාරක වනසමින් තිබෙන යුගයකයි අපි ජීවත් වෙන්නේ. එජාප හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ඉසාක් රහුමාන් නැමැත්තා විජිතපුර බලකොටුවට අයත් පුරාවිද්‍යා ස්මාරක අද බිමට සමතලා කරන්නේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාර ඇමති සජිත් ප්‍රේමදාසගේ අනුග්‍රහය සහිතවයි. මේ සියල්ල නතර කර යළි මේ පුණ්‍යභූමියට පණ දීමට අද ප්‍රතාපවත් නායකත්වයක් ඉල්ලා සිටිනවා.

‘මහින්ද යුගයේ දායාද’

2005 දීත් මේ රට අධිරාජ්‍යවාදීන්ගේ තිප්පොළක් බවට පත් වී තිබුණා. ලක් මාතාවගේ ගෙල සිර කරමින් තිබූ ඒ අවස්ථාවේදී තමා මුළුමහත් ජාතියම මහින්ද රාජපක්‍ෂ යන නායකයා ඉල්ලුවේ. 2005 දී මහින්ද රාජපක්‍ෂ මහත්තයා බලයට එන විට දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 20.7යි. 2014 වන විට එය බිලියන 80 දක්වා ඉහළ දැම්මා. ඒක පුද්ගල ආදායම 2005 දී බලයට එනවිට ඇමරිකන් ඩොලර් 1062යි. 2014 අවසානයේ භාර දී යන විට ඒකපුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3853 දක්වා ඉහළ දමා තිබුණා. 2005 දී උද්ධමනය 9%ක අගයක තිබුණා. 2014 දී එය 3.3% දක්වා පහත දමා තිබුණා. බලයට එනවිට විදේශ වත්කම් සංචිතය ආමෙරිකන් ඩොලර් බිලියන 2.3යි. 2014 දී එය ඇමෙරිකන් ඩොලර් බිලියන 8.3 දක්වා ඉහළ දැම්මා. 2005 දී බලයට එන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය බර 102.3%ක්. 2014 වන විට එය 70.7% දක්වා අඩු කළා. 2005 දී දුගී බව 15%යි. 2014 දී එය 6% දක්වා අඩු කළා. පරිගණක සාක්‍ෂරතාව 2005 දී 0.5%යි. එය 2014 දී 26% දක්වා ඉහළ දැම්මා. ඒ විදියට මෙතුමා පරිගණක සාක්‍ෂරතාව ඉහළ දැම්මාම, ඒ තුළින්ම ගොඩනැගුණු පිරිස් ලවා සමාජ මාධ්‍යවල විරෝධාකල්ප හදවලා, නැති බොරු පැටව් ගස්සලා ඒ පාලනය පරාජයට පත් කිරීම සඳහා යොදා ගැනීමට විදෙස් බලවේග කටයුතු කළ ආකාරය අපට අමතක නැහැ.

‘ගෝඨාභය – මහින්ද සුසංයෝගය’

ඒ වගේම 2005 දී බලයට ආපු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට, ගෝඨාභය රාජපක්‍ෂයන් සමඟ එකතුවෙලා මේ රටේ එවකට පැවැති බරපතළම ප්‍රශ්නයට විසඳුම් දීමට පුළුවන් වුණා. එදා මහින්ද – ගෝඨාභය සුසංයෝගයෙන් මේ රටේ ජනතාව මරබියෙන් බේරා ගත්තා. සයනයිඞ් කරල බෙල්ලේ එල්ලා තිබූ දෙමළ දරුවා පාසල් යැවීමට, සිංහල, මුස්ලිම් දරුවන්ට බෝම්බ බියෙන් තොරව පාසල් යාමට හැකි පරිසරය හැදුවේ මේ මහින්ද – ගෝඨාභය සුසංයෝගයයි. එහෙම නම් අද මේ රට වැටී ඇති වළෙන් ගොඩගත හැක්කේ ද වෙන කාටවත් නොවෙයි මහින්ද – ගෝඨාභය සුසංයෝගයට පමණයි.

‘මලයාලම් භාර ඔප්පු කිරීම’

ගෝඨාභය රාජපක්‍ෂයන් මෙහිදී පැවසුවා, අලි – මිනිස් ගැටුමට ද විසඳුම් ලබා දෙන ආකාරය ගැන. එතුමා කිව්වේ අපේක්ෂකත්වය ලැබුණාට පසුව මලයාලම් භාර ඔප්පු කිරීමට ඇතින්නියන් 07 දෙනෙකු මරා දැමීම ගැන නොවෙයි. අද ජනතාව ඉල්ලා සිටින්නේ මේ පිංබිම රකින්න පුළුවන්, ආර්ථික බලය ගොඩනගන්න පුළුවන්, සහරාන්ලාගේ බෝම්බ බිය තුරන් කළ හැකි නායකයෝ. ඒ නායකත්වය තිබෙන්නේ මේ වේදිකාව තුළයි. ‘ගෝඨාභය – මහින්ද’ ඒ නායකත්වයයි. ඒ නිසා මේ මව් පොළොව ඉල්ලන ඒ ප්‍රාර්ථනාවේ කොටස්කරුවන් වෙමුෟ විදෙස්ගත ශ්‍රී ලාංකිකයනි, ඔබේ දායකත්වයත් මෙරටට පැමිණ ලබා දෙන්න”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019 /10/10

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*