BREAKING NEWS

රුසියාව සැමවිටම රුසියාව වනු ඇත…

ක්රෙම්ලිනයේ නිල වෙබ් අඩවිය විසින් ප්රකාශයට පත් කරන ලද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා 2022 සැප්තැම්බර් 30 දා රුසියාවට ඈඳාගත් භූමි ප්රදේශවල ජනතාව පිළිගනිමින් කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

 


අපගේ පූර්වගාමීන්ගේ පරම්පරාවල්  සිදු කළ කැපකිරීම අද ජයග්‍රහණය කරා ගෙන ගොස් තිබෙනවා

“රුසියාවේ පුරවැසියනි, ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ පුරවැසියනි, සපොරොසි සහ කෙර්සොන් ප්‍රදේශවල පදිංචිකරුවනි, ඩූමාවේ නියෝජිතයිනි, රුසියානු සමූහාණ්ඩුවේ සෙනෙට් සභිකයිනි, ඔබ දන්නා පරිදි, මේ වන විටත් ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩු සහ සපොරොසි සහ කෙර්සොන් ප්‍රදේශවල ජනමත විචාරණ පවත්වා අවසන්. ඡන්ද ගණන් කර ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ජනතාව ඔවුන්ගේ නිසැක තේරීම කර තිබෙනවා.

අද අපි ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව, ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව, සපොරොසි කලාපය සහ කෙර්සොන් කලාපය රුසියානු සමූහාණ්ඩුවට ඇතුළුවීම පිළිබඳ ගිවිසුම් අත්සන් කරනවා. ෆෙඩරල් සභාව රුසියාවට ඇතුළුවීම සහ රුසියානු සමූහාණ්ඩුවේ අපගේ නව සංඝටක ආයතන වන නව කලාප හතරක් පිහිටුවීම පිළිබඳ ව්‍යවස්ථාපිත නීතිවලට සහාය දක්වන බවට මට සැකයක් නැහැ, මන්ද, මෙය මිලියන සංඛ්‍යාත ජනතාවගේ කැමැත්තයි.

එය නිසැකවම ඔවුන්ගේ අයිතියක්. එම අයිතිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 1 වැනි වගන්තියේ පැහැදිලිව ලියා තබා ඇති නෛසර්ගික අයිතිවාසිකමක් වන අතර, එය ජනතාවගේ සමාන අයිතිවාසිකම් සහ ස්වයං නිර්ණය පිළිබඳ මූලධර්මය තුළ ඍජුවම ප්‍රකාශ කර තිබෙනවා.

මම නැවත කියනවා, එය ජනතාවගේ අනුල්ලංඝනීය අයිතියක්. එම අයිතිය පදනම් වී ඇත්තේ අපගේ ඓතිහාසික බැඳීම මතයි. පුරාණ රුසියානු යුගයේ සිට සියවස් ගණනාවක් පුරා රුසියාව ගොඩනඟා ආරක්ෂා කළ අපගේ පූර්වගාමීන්ගේ පරම්පරාවල් කළ කැපකිරීම් එම අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කළ සටන ජයග්‍රහණය කරා ගෙන ගොස් තිබෙනවා.

මෙම සටන්වලදී නොවොරොස්සියා, රුම්යන්ට්සෙව් (පොයොතර්), සුවොරොව් (ඇලෙක්සැන්ඩර්) සහ උෂ්කොව් (ෆියඩොර්) දැවැන්ත සටන් ජයග්‍රහණය කළා. මහා කැතරින් සහ පොටෙම්කින් (ග්‍රිගොරී) නව නගර ආරම්භ කරනු ලැබුවා. අපේ පරම්පරාවේ ආච්චිලා සීයලා මහා දේශප්‍රේමී යුද්ධයේ කටුක අවසානය දක්වා මේ බිම්වල සටන් කළා.

රුසියානු වසන්තයේ වීරයන්, 2014 දී යුක්රේනයේ නව – නාසි කුමන්ත්‍රණය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අය, ඔවුන්ගේ මව් භාෂාව කතා කිරීමේ අයිතිය වෙනුවෙන්, ඔවුන්ගේ සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ ආගම ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්ම, ගෞරවණීය ලෙස ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මිය ගිය සියලු දෙනා අපි මේ මොහොතේදීත් සැමවිටමත් සිහිපත් කරනවා. කියෙව් පාලනය විසින් සිදු කරන ලද අමානුෂික ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ගොදුරු වූ “ඔඩෙස්සා ඛාටින්” හි දිවි පිදූ ඩොන්බාස් සොල්දාදුවන් අපගේ මතකයෙන් මැකී යන්නේ නැහැ. එලෙසම මෙම සටනේදී මිය ගිය ස්වේච්ඡා සේවකයන් සහ සටන්කාමීන්, සිවිල් වැසියන්, ළමුන්, කාන්තාවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, රුසියානුවන්, යුක්රේනියානුවන්, විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින්ද මේ මොහොතේදී සිහිපත් කරනවා.

ඇලෙක්සැන්ඩර් සඛර්චෙන්කො නම් ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ ජනප්‍රිය නායකයා, හමුදාපතිවරුන් වන ආර්සෙන් පැව්ලොව් සහ ව්ලැදිමිර් සොගා, ඔල්ගා කොචුරා සහ ඇලෙක්සේ මොස්ගොවොයි මෙන්ම ලුගාන්ස්ක් ප්‍රදේශයේ පැමිණිලි මෙහෙයවන්නාවූ සර්ජි ගොරෙන්කෝ, පැරෂුට් භට නූර්මගොමඩ් ගාඩ්ෂිමගොමෙඩොව් සහ විශේෂ හමුදා මෙහෙයුමේදී වීරයන් ලෙස මරණයට පත් වූ අපගේ සියලුම සොල්දාදුවන් සහ නිලධාරීන් වීරයන් බව මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඔවුන් මහා රුසියාවේ වීරයන්. ඔවුන්, ඔවුන් සතුව තිබූ අමිල වූ දිවි කුසුම මව්බිම වෙනුවෙන් පුද කිරීමට ගෞරව දැක්වීමට කරුණාකර විනාඩියක නිශ්ශබ්දතාවකින් මා හා එක්වන්න.

කෙර්සොන් සහ සපොරොසි ප්‍රදේශවල මෙන්ම, ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ මිලියන සංඛ්‍යාත පදිංචිකරුවන්ගේ තේරීම පිටුපස ඇත්තේ අපගේ පොදු ඉරණම සහ වසර දහස් ගණනක අපේ ප්‍රෞඪ ඉතිහාසයයි. රුසියානු ජනයා මෙම අධ්‍යාත්මික සම්බන්ධය තම දරුවන්ට සහ මුණුබුරන්ට ලබා දී තිබෙනවා. ඔවුන් විඳදරාගත් සියලු පීඩා නොතකා, ඔවුන් වසර ගණනාවක් පුරා රුසියාව පුරා ආදරය පතුරුවා හැරි අයයි. මෙය කිසිවිටකත් කිසිවෙකුටත් විනාශ කළ නොහැකි දැවැන්ත බලයක්. සෝවියට් සංගමයේ ඛේදජනක බිඳවැටීමෙන් පසු උපත ලැබූ වැඩිහිටි පරම්පරා සහ තරුණයින් – අපගේ එක්සත්කම සඳහා, අපගේ පොදු අනාගතය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසයි.

1991 දී බෙලොවෙස්කයා පුෂ්චාහිදී, එවකට සිටි ප්‍රභූ පැලැන්තියේ පක්ෂ නියෝජිතයන්, සෝවියට් සංගමයේ සාමාන්‍ය පුරවැසියන්ගෙන් තමන්ට අවශ්‍ය දේ විමසීමෙන් තොරව, සෝවියට් සංගමය අවසන් කිරීමට තීරණය කළා. ඒ අනුව සෝවියට්වරුන් හදිසියේම තම මව්බිමෙන් පලවා හැරියා. මෙම කාර්ය විසින් අපේ ජාතික ප්‍රජාව කැබලිවලට කැඩී බිඳී ගොස් ජාතික ව්‍යසනයක් ඇති කළා. සෝවියට් රජය 1917 විප්ලවයෙන් පසු තිරය පිටුපස සිට ක්‍රියා කරමින් සෝවියට් සමූහාණ්ඩුවේ දේශසීමා නිහඬව මායිම් කළා සේම, 1991 ජනමත විචාරණයේදී බහුතර ජනතාවගේ කැමැත්ත ඍජුව ප්‍රකාශ කිරීමට එරෙහිව සෝවියට් සංගමයේ සිටි අවසාන නායකයින් අපගේ විනාශය සනිටුහන් කළා. ශ්‍රේෂ්ඨ රටක ජනරජවල ජීවත්වූ අපගේ ජනතාව ඉතා සරලව මෙම නිර්දය සත්‍යයට මුහුණ දීමට සැලැස්සුවා.
එම නායකයන් කරන්නේ කුමක්ද සහ ඔවුන්ගේ ක්‍රියා අවසානයේ ඇති ප්‍රතිවිපාක මොනවාදැයි ඔවුන් පවා නොදැන සිටි බව මම තරයේ විශ්වාස කරනවා. පසුගිය දේ මෙනෙහි කිරීමෙන් දැන් ප්‍රයෝජනයක් නැහැ. තවදුරටත් සෝවියට් සංගමයක් නැහැ. අපට අතීතයට ආපසු යා නොහැකියි. ඇත්ත වශයෙන්ම, රුසියාවට අද එවැන්නක් තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ. මෙය අපගේ අභිලාෂය නොවේ. නමුත් සංස්කෘතිය, ආගම, සම්ප්‍රදායන් සහ භාෂාව අනුව, තමන් රුසියාවේ කොටසක් ලෙස සලකන මිලියන සංඛ්‍යාත ජනතාවගේ අධිෂ්ඨානයට වඩා ශක්තිමත් යමක් මිහිපිට නැහැ. ඔවුන්ගේ මුතුන් මිත්තන් සියවස් ගණනාවක් එකම රටක ජීවත් වූවා. ඔවුන්ගේ සැබෑ ඓතිහාසික නිජබිම වෙත ආපසු යාමට ඔවුන්ගේ අධිෂ්ඨානය තරම් ශක්තිමත් යමක් අපට හමුවන්නේ නැහැ.

වසර අටක් වැනි දිගු කාලයක් තිස්සේ, ඩොන්බාස්හි මිනිසුන් ජන සංහාරයට, ෂෙල් වෙඩි ප්‍රහාරවලට සහ අවහිර කිරීම්වලට ලක් වුණා. කෙර්සොන් සහ සපොරොසි ප්‍රදේශයන්හි, රුසියානු සෑම වටිනාකමක්ම රුසියාව කෙරෙහි වෛරය වර්ධනය කිරීම සඳහා අපරාධමය ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබුවා. මේ දැන් පැවැත්වූ ජනමත විචාරණයේදී පවා කියෙව් පාලනය පාසල් ගුරුවරුන්ට, මැතිවරණ කොමිෂන් සභාවල සේවය කළ කාන්තාවන්ට එරෙහිව පළිගැනීම් පමණක් නොව, මරණ තර්ජන පවා එල්ල කරනු ලැබුවා. කියෙව් පාලනය, තම කැමැත්ත ප්‍රකාශ කිරීමට පැමිණි මිලියන සංඛ්‍යාත ජනතාවට මර්දනයෙන් තර්ජනය කළා. නමුත් ඩොන්බාස් කෙර්සොන් සහ සපොරොසි ප්‍රදේශ වල ජනතාව බිඳ වැටීමට ලක් නොවුණු අතර, ඔවුන්ට ඔවුන්ගේම වූ අභිලාෂයක් තිබුණා.
කියෙව් බලධාරීන් සහ බටහිර සිටින ඔවුන්ගේ සැබෑ හසුරුවන්නන් දැන් මට ඇහුම්කන් දිය යුතුයි. එලෙසම, සෑම කෙනෙකුම මෙය මතකයේ රඳවා තබා ගත යුතු වනවා: ලුගාන්ස්ක් සහ ඩොනෙට්ස්ක්, කෙර්සන් සහ සැපෝරෝෂියා ප්‍රදේශවල ජීවත් වන ජනතාව සදහටම අපගේ පුරවැසියන් බවට පත්ව තිබෙනවා.

අපි කියෙව් පාලන තන්ත්‍රයෙන් ඉල්ලා සිටින්නේ අවි ප්‍රහාර සහ සියලු සතුරුකම් වහාම නතර කරන ලෙසයි. 2014 දී ආරම්භ කළ යුද්ධය අවසන් කිරීමට සහ සාකච්ඡා මේසයට ආපසු යාමට කටයුතු කරන ලෙස අපි කිහිප වතාවක්ම ඉල්ල සිටියා. එලෙසම අපි සාකච්ඡාව සඳහා සූදානම්. නමුත් ඩොනෙට්ස්ක්, ලුගාන්ස්ක්, සැපෝරෝෂි සහ කර්සන් හි ජනතාවගේ තෝරාගැනීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පැවැත්වෙන්නේ නැහැ. එලෙසම එම ජනතාව රුසියාව සමඟ එකතු වීමට ගෙන ඇති ඓතිහාසික තීන්දුව පාවා දීමට රුසියාව කිසි විටෙක කටයුතු කරන්නේ නැහැ. කියෙව්හි වත්මන් බලධාරීන් ජනතාවගේ නිදහස් ප්‍රකාශනයට ගරු කළ යුතුය ; වෙනත් කෙටි මාර්ගයක් නැත. සාමය සඳහා ඇති එකම මාර්ගය මෙයයි.

අප සතුව ඇති සියලුම බලවේග හා සම්පත් සමග අපි අපේ මාතෘභූමිය ආරක්ෂා කරනවා

අප සතුව ඇති සියලුම බලවේග හා සම්පත් සමග අපි අපේ මාතෘභූමිය ආරක්ෂා කරනවා. අපගේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අපට කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා. මෙය අපට පැවරී තිබෙන රුසියානු ජාතියේ මහා විමුක්ති මෙහෙවරයි.

විනාශ වූ නගර සහ නගරවල නේවාසික ගොඩනැගිලි, පාසල්, රෝහල්, සිනමාහල් සහ කෞතුකාගාර අපි අනිවාර්යයෙන්ම නැවත ගොඩනඟනවා. අපි කාර්මික ව්‍යවසායන්, කර්මාන්තශාලා, යටිතල පහසුකම් මෙන්ම, සමාජ ආරක්ෂණය, විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන පද්ධති නැවැත ප්‍රතිෂ්ඨාපනය කර සංවර්ධනය කරනවා. 

 

ආරක්ෂක මට්ටම වැඩිදියුණු කිරීමට අපි නිසැකවම කටයුතු කරනවා. රුසියාවට එකතු වූ නව කලාපවල පුරවැසියන්ට රුසියාවේ, සමස්ත ජාතියේ, සියලු ජනරජ, ප්‍රදේශ සහ අපගේ විශාල මාතෘභූමියේ ප්‍රදේශ වල සහයෝගය අත් විඳිය හැකි බවට අපි සහතික වෙනවා.

බටහිර ජාතීන් ඔවුන්ගේ වෙස්මුහුණු අතහැර දමා තිබෙනවා

මිතුරනි, සගයනි,

විශේෂ හමුදා මෙහෙයුමට සහභාගී වන අපගේ සොල්දාදුවන් සහ නිලධාරීන්, ඩොන්බාස් සහ නවෝරෝසියා සටන්කරුවන්, අර්ධ බලමුළු ගැන්වීම පිළිබඳ විධායක නියෝගය යටතේ ඇමතුම් පත්‍රිකාවක් ලැබීමෙන් පසු හමුදා බඳවා ගැනීමේ කාර්යාල වෙත ගිය පුරවැසියන් මෙන්ම තම හෘදය සාක්ෂියට එකඟව බඳවා ගැනීමේ කාර්යාල වෙත ස්වේච්ඡාවෙන් වාර්තා කළ අය මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. මම ඔවුන්ගේ දෙමාපියන්, භාර්යාවන් සහ දරුවන් වෙත විශේෂ පණිවිඩයක් දීමට කැමතියි. අපේ මිනිසුන් සටන් කරන්නේ කුමක් සඳහාද, කුමන සතුරාට එරෙහිවද, ලෝකය නව යුද්ධ හා අර්බුදවලට තල්ලු කර ඛේදවාචක නිර්මාණයක කර එයින් ලේ තැවරුණු ප්‍රතිලාභ ලබා ගන්නේ කවුද යන්න ඔවුන්ට වටහා දීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

අපේ රටවැසියන්, අපගේ එක්සත් රටවැසියන්ගේ කොටසක් වන යුක්රේනයේ සිටින අපගේ සහෝදර සහෝදරියන්, ඊනියා බටහිර පාලක පන්තිය සමස්තයක් ලෙස මනුෂ්‍ය වර්ගයා සඳහා සූදානම් කර ඇති දේ ඔවුන්ගේ සියැසින් දැක තිබෙනවා. බටහිර ජාතීන් ඔවුන්ගේ වෙස්මුහුණු අතහැර දමා ඔවුන් සැබවින්ම ක්‍රියා කරන්නේ කුමක් සඳහාදැයි ලෝකයට පෙන්වා දී තිබෙනවා.

ආරක්ෂක මට්ටම වැඩිදියුණු කිරීමට අපි නිසැකවම කටයුතු කරනවා. රුසියාවට එකතු වූ නව කලාපවල පුරවැසියන්ට රුසියාවේ, සමස්ත ජාතියේ, සියලු ජනරජ, ප්‍රදේශ සහ අපගේ විශාල මාතෘභූමියේ ප්‍රදේශ වල සහයෝගය අත් විඳිය හැකි බවට අපි සහතික වෙනවා.

ආරක්ෂක මට්ටම වැඩිදියුණු කිරීමට අපි නිසැකවම කටයුතු කරනවා. රුසියාවට එකතු වූ නව කලාපවල පුරවැසියන්ට රුසියාවේ, සමස්ත ජාතියේ, සියලු ජනරජ, ප්‍රදේශ සහ අපගේ විශාල මාතෘභූමියේ ප්‍රදේශ වල සහයෝගය අත් විඳිය හැකි බවට අපි සහතික වෙනවා.

සෝවියට් සංගමය බිඳවැටුණු විට, බටහිරයන් තීරණය කළේ ලෝකය සහ සමස්ත රුසියානුවන් ඔවුන්ගේ නියෝගවලට ස්ථිරවම එකඟවනවා කියායි. 1991 දී බටහිරයන් සිතුවේ රුසියාව ලැබූ එතරම් දරුණු කම්පනයකින් පසු කිසි විටෙකත් නැවත නැගිටින්නේ නැති බවයි. රුසියාව හුදකලා කෑලිවලට කැඩී යන බවයි. සත්‍ය වශයෙන්ම මෙම තත්වය උදාවුණා. අපට මතකයි 1990 ගණන්වල බිහිසුණු සීතල, බඩගින්න සහ බලාපොරොත්තු රහිතව දින වකවානු ගෙවුණු හැටි. නමුත් රුසියාව ස්ථාවර වී, ජීවමාන වී, ශක්තිමත් වී, ලෝකයේ එහි නියම ස්ථානය හිමි කර ගත්තා.

මේ අතර, බටහිරයන් දිගටම අපට පහර දීමට, ඔවුන් සැමවිටම සිහින මැවූ රුසියාව දුර්වල කිරීමට සහ බිඳ දැමීමට, අපගේ රාජ්‍යය බෙදීමට සහ අපගේ ජනතාව එකිනෙකාට එරෙහිව තැබීමට සහ ඔවුන් දුප්පත්කමට හෙළා දැමීමට සහ රුසියානු ජාතිය වඳකර දැමීමට තව තවත් අවස්ථා සොයමින් සිටිනවා. මෙතරම් විශාල භූමි ප්‍රදේශයක් ඇති, ස්වභාවික ධනය, සම්පත් සහ වෙනත් ජාතීන් මත යැපීමට ඉල්ලීම් නොකරන මිනිසුන් සිටින මෙතරම් ශ්‍රේෂ්ඨ රටක් ලෝකයේ ඇති බව දැන දැනම බටහිරයන්ට විවේක ගත නොහැකියි.

ඩොලරයේ සහ තාක්ෂණ ආධිපත්‍යයේ පිහිටෙන් මනුෂ්‍ය සංහතිය ඒකාරාශි කරගත් සැබෑ උපහාර අත්පත් කර ගැනීමටත්, මනුෂ්‍ය සංහතියට උකහා ගැනීමට නොහැකිවූ සමෘද්ධියේ මූලික මූලාශ්‍ර උකහා ගැනීමටත්, නව යටත් විජිතවාදී ක්‍රමය ආරක්ෂා කර ගැනීමට, බටහිර ජාතීන් සියලුම සීමා තරණය කරමින් අධිරාජ්‍යවාදී හෙජමොනියට ගෙවිය යුතු බදු කාසි ගෙවීමට සූදානම්.

මෙම තත්වය වාර්ෂිකව යාවත්කාලීන කිරීම බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධාන කර්තව්‍යයක් මෙන්ම, එය ඔවුන්ගේ සැබෑ සහ පරම ස්වයං-අභිප්‍රේරණයට හේතු වනවා. අපගේ රටේ පූර්ණ ස්වෛරීභාවය අහෝසි කිරීම ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ ඒ නිසයි. ස්වාධීන රාජ්‍ය, සාම්ප්‍රදායික වටිනාකම් සහ අව්‍යාජ සංස්කෘතීන් කෙරෙහි ඔවුන්ගේ ආක්‍රමණශීලීත්වය, ජාත්‍යන්තර සහ ඒකාබද්ධතා ක්‍රියාවලි අඩපණ කිරීමට ඔවුන් දරන උත්සාහයන්, නව ගෝලීය මුදල් වර්ග සහ ස්වාධීන රාජ්‍යයන්ට පාලනය කළ නොහැකි තාක්ෂණික සංවර්ධන මධ්‍යස්ථානවලින් ඔවුන් මෙම තත්වය පවත්වාගෙන යාමට කටයුතු කරනවා. ස්වෛරී රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය එක්සත් ජනපදයට භාර දෙන ලෙස සියලු රටවලට බල කිරීම එක්සත් ජනපදයට තීරණාත්මක ලෙස වැදගත් වෙනවා.

බටහිර ජාතීන්ට අවශ්‍ය කොල්ලකෑම පමණයි

සමහර රටවල, පාලක ප්‍රභූන් (පාර ජාතික සමාගම්වල හිමිකරුවන්) මෙම තත්වයට පත්වීමට ස්වේච්ඡාවෙන් එකඟ වෙනවා, ස්වේච්ඡාවෙන් යටත්වැසියන් වීමට එකඟ වෙනවා; එසේ නොවන අය අල්ලස් හෝ බිය ගැන්වීම්වලට යටත් කරනු ලබනවා. එක්සත් ජනපදයේ ඉල්ලීම් ක්‍රියාත්මක නොවන්නේ නම්, එම රටවල මානුෂීය ව්‍යසන, වෙනත් විනාශයන් මගින් නටබුන් බවට පත් වෙනවා. මිලියන ගණනක් විනාශ කර අවතැන්වූ වූ මිනිස් ජීවිත, ත්‍රස්තවාදී වාසස්ථාන, සමාජ ව්‍යසන කලාප, ආරක්ෂිත ප්‍රදේශ, ජනපද සහ අර්ධ යටත් විජිත ඉතිරි කර සමස්ත රාජ්‍ය විනාශ කරනු ලබනවා. ඔවුන්ට එම තත්වයන් කිසිදු වැදගැම්මකට නැහැ. ඔවුන් සැලකිලිමත් වන්නේ ඔවුන්ගේම වාසිය සම්බන්ධයෙන් පමණමයි.

සාමූහික බටහිර රාජ්‍ය රුසියාවට එරෙහිව දියත් කරන දෙමුහුන් යුද්ධයේ සැබෑ හේතු වන්නේ ඔවුන්ගේ අසීමිත ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමේ අසීමිත ආශාව, ඔවුන්ගේ අතෘප්තිය සහ අධිෂ්ඨානය බව නැවත අවධාරණය කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. අපි නිදහස් ජාතියක් වෙනවාට ඔවුන් අකමැතියි. ඔවුන්ට අවශ්‍ය අපි යටත් විජිතයක් කර ගැනීමටයි. ඔවුන්ට සමාන සහයෝගීතාවක් අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය කොල්ලකෑම පමණමයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආත්මයක් නැති වහලුන් පිරිසක් ලෙස අපව දැකීමට මිස අප නිදහස් සමාජයක් ලෙස ජීවත් වීම නොවෙයි.

රුසියාව සැමවිටම රුසියාව වනු ඇත

ඔවුන් අපගේ චින්තනය සහ අපගේ දර්ශනය ඍජු තර්ජනයක් ලෙස දකිනවා. ඒ නිසා තමයි ඔවුන් අපේ දාර්ශනිකයන්ව ඝාතනයට ඉලක්ක කරන්නේ. අපේ සංස්කෘතිය හා කලාව ඔවුන්ට අනතුරක් වන නිසා ඔවුන් ඒවා තහනම් කිරීමට උත්සාහ කරනවා. තරගකාරීත්වය වර්ධනය වන නිසා අපගේ සංවර්ධනය සහ සමෘද්ධිය ද ඔවුන් තර්ජනයක් ලෙස දකිනවා. ඔවුන්ට රුසියාවක කිසිදු අවශ්‍යතාවක් නැහැ. නමුත් අපට අනිවාර්යයෙන්ම රුසියාව අවශ්‍යයි.

 

අතීතයේ දී, අධිරාජ්‍යවාදීන්ගේ අභිලාෂයන් අපගේ ජනතාවගේ ධෛර්යය සහ ඔරොත්තු දීමේ හැකියාව අභිමුව නැවත නැවතත් බිඳී ගිය බව මම ඔබට මතක් කිරීමට කැමැතියි. රුසියාව සැමවිටම රුසියාව වනු ඇත. අපි අපේ වටිනාකම් සහ අපේ මාතෘභූමිය දිගටම ආරක්ෂා කරන්නෙමු.

බටහිරයන්, දණ්ඩමුක්තිය යනු ඕනෑම දෙයකින් ගැලවීමට හැකි ආයුධයක් යැයි සලකනවා. ඇත්ත වශයෙන්ම, මෑතක් වන තුරුම මෙය යථාර්ථය වශයෙන්ම තිබුණා. උපායමාර්ගික ආරක්ෂක ගිවිසුම් කුණු කූඩයට දමා , ඉහළම දේශපාලන මට්ටමින් ඇති කර ගත් එකඟතා උස් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. නේටෝව නැඟෙනහිරට ව්‍යාප්ත නොකරන බවට දුන් ස්ථිර පොරොන්දු අපේ හිටපු නායකයින් ඔවුන් වෙත මිල දී ගත් වහාම අපිරිසිදු රැවටීම් බවට මඟ පාදනු ලැබුවා. මිසයිල ආරක්ෂාව, අතරමැදි දුර සහ කෙටි දුර මිසයිල ගිවිසුම් දුරදිග ගිය කඩතුරා යටතේ ඒකපාර්ශ්විකව කඩා බිඳ දමා තිබෙනවා.

රුසියාව වසර දහස් ගණනක් පැරණි මහා බලවතෙකු වන අතර, එය සමස්ත ශිෂ්ටාචාරයක් ද වන්නේය

අපට ඇසෙන්නේ බටහිරයන් නීති රීති මත පදනම් වූ නියෝගයක් ඉල්ලා සිටීම පමණමයි. එය කෙසේ කොහෙන් පැමිණියේද? මෙම නීති මෙතෙක් දැක ඇත්තේ කවුද? ඒවාට එකඟ වූ හෝ අනුමත කළ අය කවුද? සවන් දෙන්න, මෙය බොහෝ විකාර, සම්පූර්ණ වංචාව, දෙබිඩි ප්‍රමිති හෝ ත්‍රිත්ව ප්‍රමිති පමණයි! ඔවුන් සිතන්නේ අපි මෝඩයන් කියාය.

රුසියාව වසර දහස් ගණනක් පැරණි මහා බලවතෙකු වන අතර, එය සමස්ත ශිෂ්ටාචාරයක් ද වන්නේය. එය එවැනි තාවකාලික, ව්‍යාජ නීති මගින් යටත් නොවනු ඇත.

දේශ සීමා උල්ලංඝනය කිරීමේ මූලධර්මය පාගා දැමුවේ ඊනියා බටහිරයන්ය. දැන් ඔවුන් තීරණය කරන්නේ, ස්වකීය අභිමතය පරිදි, ස්වයං නිර්ණයට අයිතිය ඇත්තේ කාටද සහ නැත්තේ කාටද, එයට සුදුසු කවුද නුසුදුසු කවුද යන්නයි. ඔවුන්ගේ තීරණ පදනම් වී ඇත්තේ කුමක් මතද යන්න හෝ ඔවුන්ට මුලින්ම තීරණය කිරීමට අයිතිය ලබා දුන්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැත. ඔවුන් ඒවා උපකල්පනය කළා පමණයි. ක්‍රිමියාවේ, සෙවාස්ටොපෝල්, ඩොනෙට්ස්ක්, ලුගාන්ස්ක්, සැපෝරෝෂි සහ කෙර්සන් යන ප්‍රදේශවල ජනයාගේ තේරීම බටහිරයන් දැඩි ලෙස කෝපයට පත් කරන්නේ ඒ නිසයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ගැන කිරා බැලීමට හෝ වචනයක් හෝ ප්‍රකාශකිරීමට බටහිර ජාතීන්ට සදාචාරාත්මක අයිතියක් නැත. නමුත් එය මෙතෙක් සිදු නොවුනා මෙන්ම, එය කිසි විටෙකත් සිදු නොවනු ඇත.

බටහිර ප්‍රභූන් (සමාගම් හිමිකරුවන්) ජාතික ස්වෛරීත්වය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, ඔවුන්ගේ ආධිපත්‍යය ඒකාධිපතිවාදය, ඒකාධිපතිවාදය සහ වර්ණභේදවාද භාෂාවේ වචන පවා උච්චාරණය කර තිබෙනවා. අද බටහිර ජාතිවාදීන්ගේ සැලසුම් අනුව ම්ලේච්ඡයන් සහ වනචාරීන්ගේ ලැයිස්තුවට එකතු කළ යුතු රටවල් හැර අනෙක් රටවල් සියල්ල ඔවුන් නිර්ලජ්ජිත ලෙස ඔවුන්ගේ යටත්වැසියන් ලෙස හෝ ඊනියා ශිෂ්ට සම්පන්න රටවල් ලෙස වර්ග කර තිබෙනවා. “චෞර රාජ්‍ය” හෝ “අධිකාරී පාලන තන්ත්‍රය” වැනි ව්‍යාජ ලේබල් දැනටමත් රටකට ලබා ගත හැකි වීම අලුත් දෙයක් නොවන අතර, සමස්ත ජාතීන් සහ රාජ්‍ය අපකීර්තියට පත් කිරීමට මෙම ලේබල් ඔවුන් යොදා ගන්නවා. මෙහි අලුත් යමක් නොමැති අතර ගැඹුරින් සලකා බලන විට බටහිර ප්‍රභූන් (සමාගම් හිමිකරුවන්) එකම යටත්විජිතවාදීන් ලෙස සැමදාම වැජඹී තිබෙන්වා. බටහිර ජාතීන් වෙනස් කොට සැලකීම සහ මිනිසුන්, ඉහළ හා පහළ ස්ථරවලට බෙදීම කරනු ලබනවා.

එවැනි දේශපාලන ජාතිකවාදයට සහ ජාතිවාදයට අපි කිසිවිටෙක එකඟ වී නැහැ, එකඟ වෙන්නේත් නැහැ. ‘රුසෝෆෝබියාව’ ලොව පුරා පතුරුවන්නේ ජාතිවාදය නොවේ නම් වෙන කුමක් ද? ජාතිවාදය නොවේ නම්, එහි ශිෂ්ටාචාරය සහ නව ලිබරල් සංස්කෘතිය සමස්ත ලෝකයටම අනුගමනය කළ හැකි අවිවාදිත ආදර්ශයක් බවට වන බටහිරයන්ගේ ආකල්පමය විශ්වාසය කුමක්ද?
“ඔබ එක්කෝ අපි සමඟ විය යුතුයි එසේ නැත්නම් ඔබ අපට විරුද්ධයි.” යන ඔවුන්ගේ මූල ධර්මය පවා අමුතුයි.

බටහිර ප්‍රභූවරු තමන්ගේම ඓතිහාසික අපරාධ ගැන කරනු ලබන පසුතැවීම් පවා අන් සියල්ල මෙන්ම අවස්ථානුකූලව වෙනස් කරනවා. ඔවුන්ගේ රටවල පුරවැසියන්ටත් වෙනත් ජනයාටත් තමන්ට කිසිසේත්ම සම්බන්ධයක් නැති දේවල් සම්බන්ධයෙන් පාපොච්චාරණය කරන ලෙස ඉල්ලා සිටිනවා. නිදසුනක් වශයෙන්, යටත් විජිත ආක්‍රමණ කාලය සැලකිය හැකියි.
යටත් විජිත ප්‍රතිපත්තිය ආරම්භ වූයේ මධ්‍යතන යුගයේ සිට බවත්, පසුව ලෝක වහල් වෙළෙඳාම, ඇමරිකාවේ ඉන්දියානු ගෝත්‍ර සංහාරය, ඉන්දියාව සහ අප්‍රිකාව කොල්ලකෑම, චීනයට එරෙහිව එංගලන්තයේ සහ ප්‍රංශයේ යුද්ධ, බටහිරයන්ට සිහිපත් කිරීම වටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස චීනයට සිය වරායන් අබිං වෙළෙඳාමට විවෘත කිරීමට සිදු වුණා. ඔවුන් එසේ කළේ මුළු චීන ජාතියම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා, ඉඩම් හා සම්පත් උදුරා ගැනීම සඳහායි. සතුන් මෙන් මිනිසුන් දඩයම් කර හිතාමතාම සමස්ත චීන ජනවර්ගයම විනාශ කිරීම එහි අරමුණ වුණා. මෙය මනුෂ්‍යත්වයට, සත්‍යයට, නිදහසට සහ යුක්තියට පටහැනියි.

20 වැනි සියවසේ දී අපේ රට යටත් විජිත විරෝධී ව්‍යාපාරයට නායකත්වය දුන් අතර, එය ලොව පුරා බොහෝ ජනයාට ප්‍රගතියක් ලබා ගැනීමට, දරිද්‍රතාව සහ අසමානතාව අඩු කිරීමට සහ කුසගින්න සහ රෝග පරාජය කිරීමට අවස්ථා විවර කිරීම ගැන අපි අදටද ආඩම්බර වෙනවා.

සියවස් ගණනාවක් පැරණි රුසෝෆෝබියාවට එක් හේතුවක් නම්, බටහිර අධිරාජ්‍යවාදීන්ට රුසියාව කෙරෙහි සඟවා නොගත් එදිරිවාදිකම්, යටත් විජිත ආක්‍රමණ සමයේදී අපව කොල්ලකෑමට අප ඔවුන්ට ඉඩ නොදීම සහ යුරෝපීයයන්ට අප සමග වෙළෙඳාම් කිරීමට බල කිරීම බව අවධාරණය කිරීමට කැමතියි. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක කොන්දේසි යන ප්‍රපංචය සාක්ෂාත් කරගනු ලැබුවේ රුසියාවේ ශක්තිමත් මධ්‍යගත රාජ්‍යයක් නිර්මාණය කිරීමෙනුයි. එය ඕතඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම්, යුදෙව් ආගම සහ බුද්ධාගම යන ශ්‍රේෂ්ඨ සදාචාරාත්මක වටිනාකම් මෙන්ම රුසියානු සංස්කෘතිය සහ සැමට විවෘත වූ රුසියානු සභ්‍යත්වය මත පදනම්ව වර්ධනය වී ශක්තිමත් විය.

රුසියාව ආක්‍රමණය කිරීමට සැලසුම් රාශියක් තිබුණි. එවැනි උත්සාහයන් 17 වන සියවසේ රුසියාව ගත කළ අමාරු කාලවලදී සහ 1917 විප්ලවයෙන් පසු ඇතිවූ දුක්ඛිත කාල පරිච්ඡේදයේදී ගනු ලැබුවා. නමුත් ඒ උත්සහායන් සියල්ල අසාර්ථක වුණා.
බටහිරට රුසියාවේ ධනය අත්පත් කර ගැනීමට හැකි වූයේ 20 වැනි සියවසේ අගභාගයේදී රුසියානු රාජ්‍යය විනාශ වූ විට පමණයි. ඔවුන් අපව මිතුරන් සහ හවුල්කරුවන් ලෙස හැඳින්වූ නමුත් ඔවුන් අපට සැලකුවේ යටත් විජිතයක් ලෙසයි. ඩොලර් ටි්‍රලියන ගණනක් රටෙන් පිට කිරීමට විවිධ ක්‍රම භාවිත කළා අපට මතකයි. අපිට කිසිම දෙයක් අමතක වෙලා නැහැ.

දින කිහිපයකට පෙර, ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක්, කර්සන් සහ සැපෝරෝෂියේ ජනයා අපගේ ඓතිහාසික එකමුතුකම නැවත ස්ථාපිත කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ප්‍රකාශ කළා. ඔබට ස්තුතියි!


බටහිර රටවල් වෙනත් ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම වෙනුවට එම ජාතීන් යටපත් කර ගසා කනු ලැබුවා

බටහිර රටවල් සියවස් ගණනාවක් තිස්සේ ප්‍රකාශ කරන්නේ ඔවුන් වෙනත් ජාතීන්ට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන බවයි. එහෙත් සත්‍යයට වඩා වැඩි යමක් මිහි පිට තිබිය නොහැක. වෙනත් ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම වෙනුවට එම ජාතීන් යටපත් කර ගසා කනු ලැබුවා. නිදහස දෙනවා වෙනුවට වහල්කමට හා පීඩාවට පත් කළා. ඒක ධ්‍රැවීය ලෝකය සහජයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම නිදහසින් තොරයි. එලෙසම එය බොරුව සහ කුහකකම සෑම තැනකම පතුරුවා තිබෙනවා.

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර විනාශ කරමින් දෙවතාවක් න්‍යෂ්ටික අවි භාවිත කළ ලොව එකම රට ඇමෙරිකාවයි. ඒ වගේම ඔවුන් න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් නිර්මාණය කළා.

දෙවන ලෝක යුද්ධ සමයේදී එක්සත් ජනපදය සහ බි්‍රතාන්‍යය ඩේ‍රස්ඩන්, හැම්බර්ග්, කොලෝන් සහ තවත් බොහෝ ජර්මානු නගර අවම වශයෙන් මිලිටරිමය අවශ්‍යතාවකින් තොරව පවා සුන්බුන් බවට පත් කළ බව මතක තබා ගන්න. එය කිසිදු හමුදාමය අවශ්‍යතාවකින් තොරව ප්‍රදර්ශනාත්මක අවශ්‍යතාවය මත පමණක් ලෙස සිදු කරනු ලැබුවේ ඉතාමත් උඩඟු ලෙසයි. ජපානයේ නගරවලට න්‍යෂ්ටික බෝම්බ හෙලීමේදී මෙන් ඔවුන්ට තිබුණේ එකම ඉලක්කයක් පමණයි. ඒ අපේ රට සහ ලෝකයේ සෙසු රටවල් බිය ගැන්වීම පමණමයි.

එක්සත් ජනපදය, කොරියාවේ සහ වියට්නාමයේ ජනතාවගේ මතකයේ ගැඹුරු කැළලක් ඇති කළේ ඔවුන්ගේ කාපට් බෝම්බ ප්‍රහාර සහ නාපාම් සහ රසායනික අවි ප්‍රායෝගිකව යොදාගැනීමෙනුයි.

මේ වන විට ඇත්ත වශයෙන්ම ජර්මනිය, ජපානය, කොරියානු ජනරජය සහ ඔවුන් සමානයන් සහ මිත්‍රයින් යැයි නරුම ලෙස හඳුන්වන අනෙකුත් රටවල්ද එකතු කරගෙන සිටිනවා. දැන් බලන්න ඒක මොන වගේ සන්ධානයක්ද? මේ රටවල ඉහළ නිලධාරීන්ගේ ඔත්තු බලන බවත්, ඔවුන්ගේ කාර්යාලවලට සහ නිවෙස්වලට හොරෙන් එබිකම් කරන බවත් මුළු ලෝකයම දන්නවා. මෙවැනි දේවල් කරන අයට නින්දාවක්. එපමණක් නොවෙයි, වහලුන් මෙන් නිහඬව, නිහතමානීව මේ අහංකාර හැසිරීම දරා සිටින නිල්ධාරින්ටද නින්දාවක්.

ඔවුන් තම යටත් වැසියන්ට කරන නියෝග සහ තර්ජන යුරෝ අත්ලාන්තික් සහයෝගීතාව ලෙස හඳුන්වන අතර, ජීව විද්‍යාත්මක ආයුධ නිර්මාණය කිරීම සහ යුක්රේනය ඇතුළු මානව පරීක්ෂණ විෂයයන් භාවිත කිරීම උතුම් වෛද්‍ය පර්යේෂණ ලෙස හඳුන්වනවා.
ඔවුන්ගේ විනාශකාරී ප්‍රතිපත්ති, යුද්ධ සහ අන් රටවල සම්පත් කොල්ලය අද ලෝකය පුරා දැවැන්ත සංක්‍රමණික රැල්ලක් මුදා හැර ඇත්තේ මිලියන සංඛ්‍යාත මිනිසුන් යුරෝපයට පැමිණීමට උත්සාහ කරන දහස් ගණනින් දුෂ්කරතා සහ නින්දා විඳදරාගෙන ජීවත් විම හෝ මිය යාම තෝරාගන්නවා.

ඔවුන් දැන් යුක්රේනයෙන් ධාන්‍ය අපනයනය කරනවා. දුප්පත්ම රටවල ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන මුවාවෙන් ඔවුන් එය රැගෙන යන්නේ කොතැනටද? ඔවුන් ඒවා යුරෝපීය රටවලට ගෙන යනවා. එම ධාන්‍යවලින් දුප්පත්ම රටවලට ලබා දී ඇත්තේ සියයට පහක් පමණයි. එහි ඇත්තේ රැවටීම සහ නිරුවත් වංචාව පමණමයි.

ඇත්ත වශයෙන්ම, ඇමරිකානු ප්‍රභූවරුන් තම ප්‍රතිවාදීන් දුර්වල කිරීමට, ජාතික රාජ්‍ය විනාශ කිරීමට මෙම ජනයා මුහුණ දෙන ඛේදවාචක භාවිත කරනවා. මෙය යුරෝපයට සහ සියවස් ගණනාවක ඉතිහාසයක් ඇති ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤයට මෙන්ම, ශත වර්ෂ ගණනාවක දීර්ඝ අනන්‍යතා ඇති රටවල් දෙසට පවා විහිදෙනවා.

වොෂින්ටනය රුසියාවට එරෙහිව තව තවත් සම්බාධක ඉල්ලා සිටින අතර, බහුතර යුරෝපීය දේශපාලනඥයන් කීකරු ලෙස එම ඉල්ලීම සමග ගමන් කරනවා. රුසියානු බලශක්තිය සහ අනෙකුත් සම්පත් සම්පූර්ණයෙන්ම අත්හරින ලෙස යුරෝපා සංගමයට බලපෑම් කිරීමෙන්, එක්සත් ජනපදය ප්‍රායෝගිකව යුරෝපය “නිර් කාර්මිකකරණය” දෙසට තල්ලු කරමින් සිටින්නේ සමස්ත යුරෝපීය වෙළෙඳපොළටම අත තැබීමට බව ඔවුන් පැහැදිලිව තේරුම් ගෙන තිබෙනවා. මෙම යථාර්ථය සම්බන්ධව යුරෝපීය ප්‍රභූන් සෑම දෙයක්ම තේරුම් ගනීවි. ඔවුන් එය එසේ කරාවි. නමුත් ඔවුන් අන් අයගේ අවශ්‍යතා සඳහා සේවය කිරීමට කැමැත්තක් දක්වනවා. මෙය තවදුරටත් වහල්භාවයක් නොව ඔවුන්ගේම ජනතාව ඍජුවම පාවාදීමක්. දෙවියන්ගේ පිහිටයි, ඔවුන්ගේ රටවල නිදහස ඔවුන්ටම භාරයි.

නමුත් ඇන්ග්ලෝ – සැක්සන්වරු විශ්වාස කරන්නේ සම්බාධක තවදුරටත් ප්‍රමාණවත් නොවනවා කියායි. දැන් ඔවුන් කඩාකප්පල් කිරීම දෙසට හැරී ඇති බව පැහැදිලියි. එය ඇදහිය නොහැකි බව පෙනුනත් සත්‍යය එයයි. බෝල්ටික් මුහුදේ පතුල හරහා ගමන් කරන නොර්ඩ් ස්ටී්‍රම් ගෑස් නල මාර්ග සංකීර්ණයේ ජාත්‍යන්තර ගෑස් නල මාර්ගවල පිපිරීම් ඇති කිරීමෙන්, ඔවුන් ඇත්ත වශයෙන්ම යුරෝපයේ සමස්ත බලශක්ති යටිතල ව්‍යුහය විනාශ කිරීමට පටන් ගෙන තිබෙනවා. එයින් වාසි අත්වන්නේ කාටදැයි සෑම කෙනෙකුටම පැහැදිලියි. ඇත්ත වශයෙන්ම ප්‍රතිලාභ ලබන අය විනාශයට වගකිව යුතුයි.

එක්සත් ජනපදයේ නියමයන් මුෂ්ටි නීතිය මත රඳා පවතින අතර, බොරතෙල් බලයෙන් එයට පිටුබලය ලැබෙනවා. සමහර විට එය අලංකාර ලෙස ඔතා තිබෙනවා. සමහර විට එසේ ඔතා නැහැ. නමුත් අවසාන අර්ථය එකම වෙනවා. එනම් මුෂ්ටි නීතිය ක්‍රියාත්මක කිරීම පමණමයි. එබැවින්, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මිලිටරි කඳවුරු සිය ගණනක් පිහිටුවීම සහ නඩත්තු කිරීම, නේටෝ ව්‍යාප්තිය සහ ඹණඹ සහ ඒ හා සමාන නව මිලිටරි සන්ධානයන් එකට එකතු කිරීමට උත්සාහ කරනු ලබනවා.

වොෂින්ටන්-සියෝල්-ටෝකියෝ මිලිටරි-දේශපාලන දාමයක් නිර්මාණය කිරීම සඳහා බොහෝ දේ සිදු කෙරෙමින් පවතිනවා. බටහිර ආධිපත්‍යයට අභියෝග කළ හැකි අව්‍යාජ මූලෝපායික ස්වෛරීභාවය ඇති හෝ අපේක්ෂා කරන සියලුම රාජ්‍ය ස්වයංක්‍රීයව සතුරන් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබනවා.

සම්පූර්ණ ආධිපත්‍යය අවශ්‍ය වන එක්සත් ජනපද සහ නේටෝ මිලිටරි මූලධර්මවලට යටින් පවතින මූලධර්ම මේවායි. බටහිර ප්‍රභූන් සාමකාමී අභිප්‍රායන් ගැන කියමින්, යම් ආකාරයක වැළැක්වීමක් ගැන කතා කරමින්, ඔවුන්ගේ නව යටත් විජිතවාදී සැලසුම් එම කුහකත්වයෙන්ම ඉදිරිපත් කරනවා. මෙම “වැළැක්වීම” යන වචනය එක් උපාය මාර්ගයකින් තවත් උපාය මාර්ගයකට සංක්‍රමණය වන නමුත් ඇත්ත වශයෙන්ම අදහස් කරන්නේ එක් දෙයක් පමණයි. එනම් ඕනෑම සහ සියලු ස්වෛරී බල මධ්‍යස්ථාන යටපත් කිරීම පමණමයි.

රුසියාව, චීනය සහ ඉරානයට බාධා එල්ල කිරීම ගැන අපි දැනටමත් අසා ඇත්තෙමු. මම විශ්වාස කරන්නේ ඊළඟට ආසියාවේ අනෙකුත් රටවල්, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ මැද පෙරදිග මෙන්ම වත්මන් එක්සත් ජනපද හවුල්කරුවන් සහ මිත්‍ර රටවල් ඔවුන්ගේ ඉලක්ක වන බවයි. සියල්ලට පසු, ඔවුන් අසතුටට පත් වූ විට, ඔවුන් තම හිතවතුන්ට එරෙහිව ද සම්බාධක හඳුන්වා දෙන බව අපි දන්නවා. මෙම හෝ එම බැංකුවට හෝ සමාගමට එරෙහිව සම්බාධක පනවනු ඇත. මෙය ඔවුන්ගේ භාවිතය වන අතර, ඔවුන් එය තවත් පුළුල් කරනු ඇත.

රුසියාව, සන්සුන් ලෝක සමාජයක් නිර්මාණය ගොඩනඟන බව සහතික කිරීමට සෑම උත්සාහයක්ම ගන්නවා නියතයි

ඔවුන් වඩාත් පහසු වෙනත් ක්‍රම සහ විධි භාවිත කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

දැන්, බටහිරයන් මුහුණ දෙන නවතම අභියෝග ජාලයෙන් නිදහස් වීමට නම්, ඔවුන්ට රුසියාව පමණක් නොව සංවර්ධන ස්වෛරී මාවතක් තෝරා ගන්නා අනෙකුත් රාජ්‍ය ද බිඳ දැමිය යුතු අතර, අනෙක් ජාතීන්ගේ ධනය තවදුරටත් කොල්ලකෑමට සහ එම ධනය භාවිත කිරීමට ඇති හැකියාව තහවුරු කර ගත යුතුයි. එමගින් පමණයි, බටහිරයන්ගේ ආර්ථිකයේ ඇතිකරගෙන තිබෙන කඩතොලු වසා ගත හැක්කේ. මෙය සිදු නොවන්නේ නම්, ඔවුන් සමස්ත ක්‍රමයේම බිඳවැටීමක් අවුලුවාලීමට උත්සාහ කරන බව මට බැහැර කළ නොහැකියි. ඔවුන් එම උත්සාහය මත සියල්ලටම දොස් පැවරීමට නියමිතයි. එසේ නැතහොත් යුද්ධය හරහා ආර්ථික වර්ධනයේ පැරණි සූත්‍රය භාවිත කිරීමට තීරණය කරනු නියතය.

රුසියාව ජාත්‍යන්තර ප්‍රජාවට ඇති වගකීම පිළිබඳව දැනුම්වත්ව සිටින අතර, සන්සුන් ලෝක සමාජයක් නිර්මාණය ගොඩනඟන බව සහතික කිරීමට සෑම උත්සාහයක්ම ගන්නවා නියතයි.

වත්මන් නව යටත් විජිත ආකෘතිය අවසානයේ විනාශ වෙනවා. මෙය පැහැදිලි සත්‍යයක්. නමුත් එහි සැබෑ ස්වාමිවරුන් අවසානය දක්වාම එයටම ඇලී සිටින බව මම නැවත නැවතත් අවධාරණය කරනවා. මංකොල්ලකෑමේ සහ ජාවාරම් කිරීමේ එකම ක්‍රමයම පවත්වාගෙන යාම හැර ඔවුන්ට ලෝකයට පිරිනැමීමට කිසිවක් නැහැ.

බිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ, බහුතර මනුෂ්‍ය වර්ගයාගේ නිදහසට සහ යුක්තියට, තමන්ගේ අනාගතය තීරණය කිරීමට ඇති අයිතිය ගැන ඔවුන් කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඔවුන් දැනටමත් සදාචාරාත්මක, ආගමික සහ පවුල් වටිනාකම් රැඩිකල් ලෙස ප්‍රතික්ෂේප කිරීම දක්වා ගමන් කර තිබෙනවා.

අපි ඉතා සරල ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු දීමට සූදානම්. දැන් මම මා පැවසූ දෙය වෙත ආපසු හැරෙනවා. අපේ රටේ සියලුම පුරවැසියන් – ශාලාවේ සිටින සගයන් පමණක් නොව – රුසියාවේ සියලුම පුරවැසියන්ගෙන් මම ප්‍රශ්න කිහිපයක් අසනවා. අපට අපේ රටේ, රුසියාවේ ජීවත් වීමට අවශ්‍යද? මව සහ පියා වෙනුවට “දෙමාපියන් අංක එක, මාපිය අංක දෙක සහ මාපිය අංක තුන” (බටහිර ජාතීන්ට දැනටමත් එය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත!) යනුවෙන් නම් කිරීමට කැමතිද? අපගේ පාසල් දරුවන්ට ඔවුන්ගේ මුල් කාලයේ සිටම, පිරිහීමට හා වඳ වී යාමට තුඩු දෙන විකෘති කිරීම් ඔවුන් මත පැටවීමට අපට අවශ්‍යද? අපට අවශ්‍යවන්නේ කාන්තාවන් සහ පිරිමින් මෙන්ම වෙනත් ඇතැම් ස්ත්‍රී පුරුෂභාවය පවතින බවට අදහස් දරුවන්ගේ ඔළුවලට පුරවා ඔවුන්ට ලිංග විපර්යාස සැත්කම් කිරීමද?

අපේ රටටත් අපේ දරුවන්ටත් අවශ්‍ය එයද? මේ සියල්ල අපට පිළිගත නොහැකිය. අපිට අපේම වෙනස් අනාගතයක් තියෙනවා.
බටහිර ප්‍රභූ පැලැන්තියේ ආඥාදායකත්වය බටහිර රටවල පුරවැසියන් ද ඇතුළුව සියලුම සමාජ ඉලක්ක කරන බව මම නැවත අවධාරණය කරනවා. මෙය සමස්ත ලෝක ජනයාටම අභියෝගයක්. මනුෂ්‍යයෙකු වීම යන්නෙන් අදහස් කරන වටිනාකම් සම්පූර්ණයෙන්ම අත්හැරීම, සාම්ප්‍රදායික ජීවන රටා සහ සාම්ප්‍රදායික සාරධර්ම පෙරලා දැමීම සහ නිදහස යටපත් කිරීම මෙන්ම “ආගම ප්‍රතිලෝමව” – පිරිසිදු සාතන්වාදයට සමාන වෙනවා. බොරු මෙසියස්වරුන් හෙළිදරව් කරමින්, යේසුස් ක්‍රිස්තුස් කන්ද උඩ දේශනාවේදී පැවසුවේ “ඔවුන්ගේ ඵලවලින් ඔබ ඔවුන්ව හඳුනාගන්නහුය.” මෙම විෂ සහිත පලතුරු දැනටමත් මිනිසුන්ට පැහැදිලිය. අපේ රටේ පමණක් නොව, බටහිර බොහෝ මිනිසුන් ඇතුළු සෑම රටකම මිනිසුන්ට මෙය ඉතා හොඳින් පැහැදිලි වෙමින් පවතිනවා.
ලෝකය මූලික, විප්ලවීය පරිවර්තනයක කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී තිබෙනවා. නව බල මධ්‍යස්ථාන බිහිවෙමින් තිබෙනවා. ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවේ බහුතරය නියෝජනය කරනවා. මා නැවත අවධාරණය කරනවා නව බල මධ්‍යස්ථාන බහුතරය නියෝජනය කරනවා! ඔවුන් තම අවශ්‍යතා ප්‍රකාශ කිරීමට පමණක් නොව, ඒවා ආරක්ෂා කිරීමට ද සූදානම් බව මම අවධාරණය කරනවා. බහු ධ්‍රැවීයභාවය තුළ ඔවුන් දකින්නේ ඔවුන්ගේ පරමාධිපත්‍යය ශක්තිමත් කිරීමේ අවස්ථාවයි. එනම් අව්‍යාජ නිදහස, ඓතිහාසික අපේක්ෂා සහ ස්වකීය ස්වාධීන, නිර්මාණාත්මක සහ සුවිශේෂී සංවර්ධන ස්වරූප සඳහා ඇති අයිතිය මෙන්ම, සමගි ක්‍රියාවලියකට ඇති අයිතිය ලබා ගැනීමයි.

මා දැනටමත් පවසා ඇති පරිදි, අපට යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සමාන අදහස් ඇති බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන්ගේ සහයෝගය අපට දැනෙන අතර අපි එය අත් විඳිමින් සිටිනවා. ඒක ධ්‍රැවීය ආධිපත්‍යයට එරෙහිව අත්‍යවශ්‍යයෙන්ම විමුක්තිදායක, යටත් විජිත විරෝධී ව්‍යාපාර වඩ වඩාත් විවිධ රටවල් සහ සමාජ තුළ හැඩගැසෙමින් තිබෙනවා. එහි බලය කාලයත් සමඟ වර්ධනය වනවා. අපගේ අනාගත භූ දේශපාලන යථාර්ථය තීරණය කරනු ලබන්නේ මෙම බලවේගයයි.

මිතුරනි,
අද අපි සටන් කරන්නේ අතීතයේ පැවැති ආඥාදායකත්වය සහ ඒකාධිපතිවාදය අත්හැරීම සඳහායි. පළමුව අප වෙනුවෙන්, එනම් රුසියාව වෙනුවෙන් සාධාරණ සහ නිදහස් මාවතක් සඳහායි. එය කවුරුන් වුව ද ව්‍යතිරේකවාදය මත පදනම් වූ ප්‍රතිපත්තියක් සහ අනෙකුත් සංස්කෘතීන් සහ ජාතීන් මර්දනය කිරීම සහජයෙන්ම සාපරාධී බව රටවල් සහ ජනතාව තේරුම් ගෙන ඇති බවත්, අප මෙම ලැජ්ජා සහගත පරිච්ඡේදය වසා දැමිය යුතු බවත් මට විශ්වාසයි. බටහිර ආධිපත්‍යයේ අඛණ්ඩ බිඳවැටීම ආපසු හැරවිය නොහැකි බව මම නැවත කියනවා: ප්‍රපංචයන් කිසිවිටකත් එක සමාන වන්නේ නැහැ.

දෛවය සහ ඉතිහාසය විසින් අපව කැඳවා ඇති යුධ පිටිය අපගේ ජනතාවට, මහා ඓතිහාසික රුසියාවට යුද පිටියකි. මහා ඓතිහාසික රුසියාවේ, අනාගත පරම්පරා සඳහා, අපේ දරුවන්, මුණුබුරන් සහ මී මුණුබුරන් සඳහායි. ඔවුන්ගේ මනස සහ ආත්ම අඩපණ කිරීමට සැලසුම් කර ඇති වහල්භාවයෙන් සහ බිහිසුණු අත්හදා බැලීම්වලින් අපි ඔවුන්ව ආරක්ෂා කළ යුතුයි.

අපගේ වටිනාකම් වන්නේ මනුෂ්‍යත්වය, දයාව සහ අනුකම්පාවයි

අද අපි සටන් කරන්නේ රුසියාව, අපේ ජනතාව, අපේ භාෂාව හෝ අපේ සංස්කෘතිය ඉතිහාසයෙන් මකා දැමිය හැකි බව කිසිවෙකුට කළ නොහැකි බව දැන්වීමටයි. අද, අපට ඒකාබද්ධ සමාජයක් අවශ්‍ය වන අතර, මෙම ඒකාබද්ධ කිරීම පදනම් විය හැක්කේ ස්වෛරීත්වය, නිදහස, නිර්මාණශීලීභාවය සහ යුක්තිය මත පමණයි. අපගේ වටිනාකම් වන්නේ මනුෂ්‍යත්වය, දයාව සහ අනුකම්පාවයි.

සැබෑ දේශප්‍රේමියෙකු වන අයිවන් ඉලින්ගේ වචනවලින් මම මගේ දේශනය අවසන් කරනවා : “මම රුසියාව මගේ මාතෘ භූමිය ලෙස සලකන්නේ නම්, එයින් අදහස් කරන්නේ මම රුසියානු ජාතිකයෙකු ලෙස රුසියාවට ආදරය කරන බවත්, මගේ සමස්ත චින්තනය මෙන්ම ගීත ගායනය, හැසිරීම පවා රුසියානු ජාතිකයෙකු ලෙස කටයුතු කිරීම බවත් ය; මම රුසියානු ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය විශ්වාස කරමි. එහි ආත්මය මාගේ ආත්මය යි; එහි ඉරණම මගේ ඉරණමයි; එහි බිඳ වැටීම මාගේ දුකයි; එහි සමෘද්ධිය මගේ සතුටයි.”

අයිවන් ඉලින්ගේ මෙම වචන පිටුපසින් දැවැන්ත අධ්‍යාත්මික තේරීමක් පවතින අතර, අපගේ මුතුන් මිත්තන්ගේ පරම්පරා ගණනාවක් විසින් අනුගමනය කරන ලද වසර දහසකට වැඩි රුසියානු රාජ්‍යත්වය මත හිඳ ගෙනයි, අද අපි මේ තේරීම කරන්නේ; ඩොන්ස්ටෙක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ පුරවැසියන් සහ කෙර්සොන් සහ සපොරොසි ප්‍රදේශවල පදිංචිකරුවන් අප ඉහත මතු කළ තේරීම කර තිබෙනවා. ඔවුන් තෝරා ගත්තේ තම ජනතාව සමඟ සිටීමට, තම මාතෘ භූමිය සමඟ සිටීමට, එහි ඉරණමෙහි හවුල් වීමට සහ එය සමඟ එක්ව ජයග්‍රහණය කිරීමටයි.

සත්‍යය අප සමඟ ය, අපට සමාන්තරව රුසියාව ය!

(පරිවර්තනය-ජීවන්ත ජයතිස්ස)

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*