BREAKING NEWS

“අධි තාක්ෂණික කර්මාන්ත මේ රටට ආකර්ෂණය කර ගැනීමේ මුල් පියවර ලෙස දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට පියවර ගත යුතුයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

චීනය, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් ලොව ආර්ථික කුණාටුවලට සාර්ථකව මුහුණ දෙන්නේ ඔවුන් අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත සිය රටවලට ආකර්ෂණය කරගෙන ඇති නිසා බව පෙන්වා දෙන කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා ශ්රී ලංකාව ද එවැනි අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත ආකර්ෂණය කර ගැනීමට නම් එම දැනුමෙන් සන්නද්ධ මානව සම්පතක් කඩිනමින් නිර්මාණය කළ යුතු බවත් එහි මුල් පියවර ලෙස දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට පියවර ගැනීම අත්යවශ්ය බවත් සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (25) කඩුවෙල මහනගර සභාව සහ ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය එක්ව ඇරඹූ පරිගණක තාක්ෂණ පුහුණු පාසල විවෘත කිරීමෙන් අනතුරුව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

“අද ලෝකයේ තිබෙන බල ගැටුම් අනුව ඇමරිකා එක්සත් ජනපදය, ජපානය ඇතුළු වෙනත් බොහෝ රටවල චීනය තුළ ස්ථාපිත කර තිබූ අධි තාක්ෂණික කර්මාන්ත බොහෝමයක් චීනයෙන් ඉවත් කරගෙන වෙනත් රටවල් කරා රැගෙන යමින් තිබෙනවා. ඇමරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන වෙළඳ ගැටුම හේතුවෙන් චීනය තුළ ස්ථාපිතව තිබූ අධි තාක්ෂණික කර්මාන්ත වියට්නාමයට හෝ වෙනත් රටවලට රැගෙන යාමට ඇමරිකාව පෙළඹී තිබෙනවා. ඒ අධි තාක්ෂණික කර්මාන්ත අපේ රටට ආකර්ෂණය කර ගැනීමට තිබෙන විශාලතම බාධාව තමයි ඒ අධි තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ ප්රජාවක් අපි ගොඩනඟාගෙන නැතිකම. එවැනි පරපුරක් නිර්මාණය කරගෙන තිබුණා නම් ඉහත වෙළඳ ගැටුම හේතුවෙන් ඇති වන නව අවකාශය අත්පත් කර ගැනීමේ අවස්ථාව අපේ රටට ඕනෑවටත් වඩා තිබෙනවා.

‘ අධි තාක්ෂණික දැනුමට පෙරවදනක්’

අපේ රටේ පිහිටීම අනුව පැය 05ක් ඇතුළත ලෝකයේ භූමි ප්රමාණයෙන් අඩක් ආවරණය කිරීමේ ඉඩකඩ තිබෙනවා. මෙවැනි සුවිශේෂී පිහිටීමක තිබෙන රටක මානව සම්පතට තොරතුරු තාක්ෂණය පමණක් නොවෙයි සියලු අධි තාක්ෂණික දැනුම ලබා දීම පාලකයන් හැටියට අප සියලුදෙනාගේම වගකීමක් සේ ම යුතුකමක්. අද කඩුවෙල මහා නගර සභාව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමග එක්වී අද මේ සිදු කරන්නේ ඉහත අධි තාක්ෂණික දැනුම අනාගත පරපුරට දායාද කිරීමේ මෙහෙයුමට පෙරවදනක් ලිවීමයි. අධි තාක්ෂණික දැනුම ලබා ගැනීමට නම් අපේ දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කළ යුතුයි.

‘ අධි තාක්ෂණික කර්මාන්ත ආකර්ෂණය’

දකුණු කොරියාව වැනි රටවල් අද ආර්ථිකමය වශයෙන් ඉහළින් සිටින්නේ අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත ආකර්ෂණය කර ගැනීමට එම ප්රජාවට හැකිවූ නිසයි. චීනය, වියට්නාමය වැනි රටවල් ද අද ලෝකය ඇතැම් ආර්ථික සුළි කුණාටුවලට මුහුණ දෙන්නෙ අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත ආකර්ෂණය කරගෙන සිටින නිසයි. අද අපටත් ඇති අභියෝගය අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්තයන් ආකර්ෂණය කර ගැනීම. ඒක කරන්න නම් ඒ පිළිබඳ හැකියාවන්ගෙන් අනූන මානව සම්පතක් නිර්මාණය කර ගැනීම අත්යවශ්යයි.

මම හිතනවා, ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වැනි ආයතන සහ මෙවැනි කුඩා තොරතුරු තාක්ෂණ මධ්යස්ථාන, යන මේ සියල්ලෙන්ම මෙරට දරුවන් එම අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත සඳහා අවශ්ය හැකියාවන් ලබා ගැනීමේ දිසාවට පොළඹවනු ලබනවා, කියා. එම පෙළඹවීම සඳහා තබන ලබන සෑම පියවරක්ම අප හමුවේ වන ඉහත අභියෝගය ජය ගනු ලැබීම පිණිස තබන පියවරක් වනු ඇති. මා ඉතා සතුටු වෙනවා කඩුවෙල මහ නගර සභාව සහ ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අද ගනු ලැබූ ප්රශස්ත පියවර පිළිබඳව. පසුගිය වසර තුනක පමණ කාලය තුළ සම්ප්රදායික න්යාය පත්රයෙන් එළියට ගිහිල්ලා පක්ෂ පාට භේදයෙන් තොරව කඩුවෙල මහ නගර සභාවේ සියලු මහජන නියෝජිතයන් එකතු කර ගනිමින් විශාල වැඩ කටයුත්තක් සිදුකරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කරමින් මෙම පරිගණක පුහුණු පාසල මේ ප්රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ඉහත කී අධි තාක්ෂණික දැනුම ලබා ගැනීමට අවශ්ය පෙරවදනක් වනු ඇති බව ද පෙන්වා දීමට කැමතියි.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ප්රේමනාත් සී දොලවත්ත, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරු සහ කඩුවෙල නාගරික කොමසාරිස් ඇතුළු රාජ්ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*