BREAKING NEWS

“ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් විරුද්ධ වෙන්නේ මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින අපයි” – ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් ඊට විරුද්ධ වන්නේ මෙරට සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින තමන් බවත් 2015ට පෙර ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියමින් ගොඩනැගූ පච අවලාද මෙහෙයුමෙහි දෙවන අදියර දැන් ආරම්භ වී ඇති බවත් ඒ මෙහෙයුමෙහි නිරත අමුතුම පරිසරවේදියෝ පිරිසක් ‘මෙන්න කැලෑ කපනෝ’ කියමින් අද විලාප දෙමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

ඊයේ (20) අතුරුගිරිය ප්රදේශයේ පැවති ‘දැයට එළිය’ තේමාව යටතේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් අපේ ආණ්ඩුව කොරෝනා වසංගතය ඇතුළු බොහෝ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ජනතාවට තම වගකීම සහ යුතුකම ඉටු කරමින් සිටින බව ඔබ සැම පිළිගන්නවා ඇති. මේ රට අවුලෙන් අවුලට ඇදගෙන ගිය පැවැති ආණ්ඩුව අපට ලබාදී ගියේ ආර්ථික වර්ධන වේගය 2%කටත් වඩා අඩු වේගයක් සහිත, ආර්ථිකය බිද වැටුණු රටක්. ඔවුන් ඒ වන විට රටේ ජාතික ආරක්ෂාව ද බිංදුවට බස්සවා තිබුණා. ඒ සියල්ල ක්රමානුකූලව යළි ගොඩනංවමින් තමයි අපට ආණ්ඩුවක් හැටියට ජනසහන වැඩසටහන් ක්රියාත්මක කිරීමට හැකිව තිබෙන්නේ.

‘දැයට එළිය’

ලෝකයේ කොරෝනා වසංගතයට එරෙහි එන්නත් ලබාදෙන රටවල් සුළු ප්රමාණය අතර අප රට ද අද ඉන්නවා. ආර්ථිකය ගොඩනංවමින්, සංවර්ධන වැඩ කටයුතු සිදු කරමින් දරුවන්ගේ අධ්යාපන කටයුතු ද බිඳ වැටීමට ඉඩ නොදෙමින් ඉදිරියට යන අපේ ආණ්ඩුව ‘දැයට එළිය’ යන තේමාව යටතේ තමන්ගේ වියදමින් විදුලිය ලබා ගත නොහැකි පවුල් වෙසෙන නිවෙස්වලට නොමිලේ විදුලිය ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. බොහෝ රටවල සුබසාධන කප්පාදු කරලා, විදුලි බිල්පත ද වැඩි කරන කාලයක තමයි අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලේ විදුලිය ලබා දීමට අපේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ. නොමිලේ විදුලිය ලබා දීමෙන් අපි බලාපොරොත්තු වන්නේ රෑට ‘බල්බ් එකක්’ පත්තු කරදීම නොවෙයි. ඒ පවුල්වල දරුවන්ට අනාගත අභියෝග ජය ගැනීම සඳහා අවශ්ය වන පහසුකම සලසා දීමයි අපි සිදුකර දෙන්නේ. නිදහස් අධ්යාපනය හිමි දරුවන්ට හොඳින් පාඩම් කටයුතු කරලා ඉදිරියට ගියාම දුගී දුප්පත්කම ජය ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුලක සිට මධ්යම ආදායම්ලාභී පවුලක් දක්වා පරිවර්තනය වීමට දෙන ප්රධානතම තල්ලුවක් තමයි මේ නොමිලේ විදුලිය ලබා දීම.

‘අමුතුම පරිසරවේදියෝ’

මේ විදිහට සංවර්ධන කටයුතු සිදු කරමින්, නව වගා බිම් අස්වැද්දීමට ජනතාව පොළඹවමින් ඉදිරියට යනකොට සමාජ මාධ්යවල ‘පිටරටවල කැලෑ කැපූ ඡායාරූප’ පවා යොදාගෙන ‘මෙන්න සිංහරාජය කපනෝ’ කියා කෑගහන අමුතුම පරිසරවේදියෝ ටිකක් දැන් බිහිව තිබෙනවා. එදා රිෂාඩ් බදියුදීන් විල්පත්තුව කපන විට, පසුගිය ආණ්ඩුව කුඹුරු, තෙත් බිම් ගොඩ කරන විට හිටපු නැති පිරිසක් දැන් අතිශයෝක්තියෙන් කටයුතු කරන මහා පරිසරවේදියෝ බවට පත්වෙලා තිබෙනවා. 2015ට කලින් ‘ලැම්බෝගිනි – රත්තරන් අශ්වයෝ – බේබිලාට චොපර්’ කියලා අතිශයෝක්තියෙන් ගොඩනඟපු පච අවලාද මෙහෙයුමේ දෙවන අදියර තමයි දැන් ‘මෙන්න කැලෑ කපනෝ – මෙන්න සිංහරාජෙ කපනෝ’ කියමින් ආරම්භ කර තිබෙන්නේ.

‘ඇත්තටම කැලෑ කපනවා නම්…’

මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් අපි බැඳී සිටිනවා. රැම්සා තෙත්බිම විනාශ කරන්න හදන විට පසුගියදා පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ අපයි. ඇත්තටම කැලෑ කපනවා නම් ඊට කාටත් කලින් අපි විරුද්ධ වෙනවා. මේ කෑගහන අය කරන්නේ පරිසරය ආරක්ෂා කිරීම නොවෙයි. පරිසරය හා සංවර්ධනය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාමේ අභියෝගය තමයි අප ඉදිරියේ පවතින්නේ. දැන් මේ අයට පෙනෙනවා ‘රටේ සංවර්ධනයක් වෙනවා. ඒක අපි අඩාල කරන්න ඕනේ. අඩාල කරන්න නම් කැලෑ කපනෝ, කියමින් විලාප දෙන්න ඕනේ.’ කියලා. සමහර රූපවාහිනී නාලිකා තිබෙනවා, හැමදාම කුමන හෝ කැලෑවක් කපනවා කියා බොරුවක් පෙන්වන. වනාන්තරයක් කියන්නේ වන සංරක්ෂණ හෝ වෙනත් කුමන හෝ නීතියක් මගින් ගැසට් කර තිබෙන එකක්. පෞද්ගලික ඉඩමක, වගා බිමක ගස් කිහිපයක් තිබිලා ඒක කැපීම, කැලෑවක් කැපීමක් නොවෙයි. නිදසුනක් ලෙස මේ රටේ පරිපාලන නගරය වූ ශ්රී ජයවර්ධනපුර ප්රදේශයේ විශාල භූමිභාගයක් කොහොඹ ශාකය වැවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් වෙන් කර දීම පෙන්වා දීමට පුළුවන්.

‘දැන් රටේ නීතිය සමග සෙල්ලම් බැහැ’

අපි කවුරුත් ඒ පැරදුණු, බංකොලොත් දේශපාලන කල්ලිවල බොරු අවලාදවලට රැවටිය යුතු නැහැ. දැන් බලන්න ජාතික ආරක්ෂාව රැකෙන හැටි. අපේ ආණ්ඩුව මේ රටේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ නීතිය පිළිගන්නේ නැහැ, කියමින් පුරාජේරු කතා කියපු අසාද් සාලි දැන් ඉන්නේ හිර ගෙදරයි. ‘මේ අවලාදවලට නොරැවටෙමින් රටත් ආර්ථිකයත් බලගන්වමින් වැරදි නිවැරදි කර ගනිමින් අපේ ගමන යමු. මේ රට දියුණු රාජ්යයක් බවට පත් කෙරුමට කැපවෙමු!’ කියා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

සංවර්ධනයේ ප්රධානතම මාවත වන්නේ විදුලි බලයයි. ඒ නිසා මේ රටේ විදුලිය නොමැති සියලු පවුල් වෙත නොමිලේ විදුලිය ලබා දීමට කැප වන විදුලිබල අමාත්ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා ඇතුළු සියලු බලධාරීන්ටත් මගේ කෘතවේදීත්වය පුද කරනවා. අද සිව් දරු පවුල් වෙත රුපියල් ලක්ෂයක ප්රදානයක් සිදු කරමින් ද ‘අතමිට සරු සන්නාලිය’ වැඩසටහන යටතේ කාන්තා ව්යවසායිකාවන්ට මහන මැෂින් ලබා දෙමින් ද කඩුවෙල නගරාධිපතිතුමා ඇතුළු මහ නගර සභාව කළ සද් කාර්යය ද ඇගයිය යුතුයි. මේ සියල්ල අපට ලැබෙන්නේ නිවැරදි දැක්මක් සහිත, සාමූහිකව කටයුතු කරන නගරාධිපතිවරයකු අපි හැමෝම එකතුවෙලා පත් කරගත් නිසයි. ‘මේ සියලු ප්රතිලාභ ලබමින් අනාගත පරපුර වෙනුවෙන් ලස්සන රටක් හදන්න පෙරට එන්න’ කියා ඔබ සැමට ඇරයුම් කරනවා”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී මේජර් ප්රදීප් උදුගොඩ, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු සහ කඩුවෙල ප්රාදේශීය ලේකම් ඇතුළු රාජ්ය නිලධාරීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2021.03.21
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*