BREAKING NEWS

ජිනීවා යෝජනා පිළිබඳ මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කෙවිට පෙන්වා ව්‍යවස්ථා සංශෝධන
සඳහා බලකිරීම රටක් ලෙස සියලු පාර්ශ්ව විසින් හෙළා දැකිය යුතුයි!

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ මහ කොමසාරිස් වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු බවට නිර්දේශ කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද 46/1 යෝජනාවලිය මගින් පිහිටුවූ යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණය යොදා ගන්නා බව ද මහකොමසාරිස්වරිය සඳහන් කරයි. ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව නඩු පවරන රටවල අභිචෝදකට එම චෝදනා සහ සාක්ෂි නිල වශයෙන් ලබාදෙන බව සහ ඒවා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ද යොමුකරන බව සඳහන් වේ.

නමුත් සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකාවේ නියෝජිතයින් ඊට එරෙහිව කරුණු දක්වා නැත. මෙවර විශේෂයෙන් එල්ල වූ ආර්ථික අපරාධ පිළිබඳ චෝදනාවලට අදාළව යම් පිළිතුරු බැඳීමක් සිදුකළ ද මහකොමසාරිස් වාර්තාවේ නිර්දේශවලට විරෝධය දක්වා නැත. රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳ කරුණු දැක්වීම සඳහා විශේෂ අවස්ථාවක් ඉල්ලා සිටීම ද සිදුවී නැත. 2015 සිට ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්වරුන් විසින් එල්ල කරනු ලබන යුද අපරාධ චෝදනාවලට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල නිර්දෝෂීභාවය පිළිබඳ කරුණු දැක්වීමක් සිදුකර නැත. විශේෂයෙන්ම ජාත්‍යන්තරව පිළිගත් යුද අපරාධ විශේෂඥයින් 5 දෙනෙකු විසින් සකස් කළ වාර්තා 6ක් මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා, පද්ධතියක් ලෙස යුද අපරාධ සිදු නොකළ බවට කරුණුමය සහ නීතිමය සාක්ෂි ගොනුකර ඇති තත්වයක් යටතේ එසේ නොකිරීම පිළිබඳව නිදහසට කාරණා ඉදිරිපත් කළ නොහැක.

ඊට අමතරව 51 වැනි සැසිවාරයට සහභාගී වූ ඉන්දියානු රජයේ නිත්‍ය නියෝජිතයා විසින් දෙමළ ජනතාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බවට ශ්‍රී ලංකාවේ රජයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. ශ්‍රී ලංකාවේ රජය විසින් 30/1 සහ 46/1 යෝජනා ප්‍රතික්ෂේප කර ඇති අතර මෙවර විදේශ අමාත්‍යවරයා විසින් ඒ බව නැවත අවධාරණය කරනු ලැබීය. එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත 50/1 යෝජනාවක් තිබේනම් ඊට බලපෑම් එල්ල කිරීම සඳහා ඉන්දියා නියෝජිතයා විසින් එම ප්‍රකාශය සිදු කළ බව ඉතා පැහැදිළිය. ඒ ආකාරයට යෝජනාවකට පරිබාහිරව තනි රටක් ලෙස හෝ යෝජනාවකට අනුව සාමාජික රටක ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා බලපෑම් එල්ල කිරීමට කිසිදු රටකට අයිතියක් නැත. එය වියානා සම්මුතිය සහ මානව හිමිකම් සමුළුවේ බල අධිකාරිය ඉක්මවා යෑමකි.

ඒ නිසා මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව දියත්ව ඇති ඉහත ක්‍රියාවලි දෙකම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ විපක්ෂය ඇතුළු සියලු පාර්ශ්ව විසින් කොන්දේසි විරහිතව හෙළාදැකිය යුතු බව ජාතික නිදහස් පෙරමුණ ලෙස රටේ ජනතාව මෙසේ දැනුවත් කරමු.

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2022.09.14

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*