BREAKING NEWS

පළමු පියවර මරාගෙන මැරෙන ප්‍රහාරවලට පාර කැපීම – දෙවන පියවර රටම ලේ විලක් කිරීම’

පළමු පියවර මරාගෙන මැරෙන ප්‍රහාරවලට පාර කැපීම
– දෙවන පියවර රටම ලේ විලක් කිරීම’

අගමැති රනිල් දැනුවත්ව ක්‍රියාත්මක බටහිර න්‍යාය පත්‍රය මුල සිට අගට විමල් අනාවරණය කරයි

බුද්ධි අංශ අඩපණ කොට වහාබ්වාදී අන්තවාදීන්ට මරාගෙන මැරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ සැලසුමේ මුල් පියවර පමණක් බවත් දෙවන පියවර සිංහල – මුස්ලිම්, කිතුණු – මුස්ලිම් ගැටුම් තුළින් මේ රට ලේ විලක් කිරීම බවත් තෙවන පියවර ඒ ලේ විල භාවිතා කොට ‘ශ්‍රී ලංකාවේ මානුෂවාදී අර්බුදයක් ඇතිව තිබේ’ යන්න පවසමින් මෙරටට ඇමෙරිකන් හමුදා රිංගවීම බවත් මේ සියලු සැලසුම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත්ව සිදු වන ඒවා බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (01) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති ‘ඒකාබද්ධ මැයි දින සංකේතාත්මක සැමරුමට’ එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ඔබේත් මගේත් මාතෘභූමිය අද භයානකම සහ තියුණුතම ඉම තෙක් මේ තකතීරු ආණ්ඩුව විසින් ඇදවට්ටවා අවසානයි. ගෙවීගිය වසර 04 තුළ මේ ආණ්ඩුව යුද හමුදා, නාවික හමුදා බුද්ධි අංශ අඩපණ කළේ අපේ මාතෘභූමිය මේ තැනට ඇදවට්ටවන්නයි. එදා අල්කයිඩා ත්‍රස්තවාදීන් ඇමෙරිකාවේ උස ගොඩනැගිලිවලට පහර දීමෙන් පසු මුළු ඇමෙරිකානු ජන සමාජයම හිරිවැටුණා. ඒ හිරිවැටීම ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පාවිච්චි කළා ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමට, ඉරාකය ආක්‍රමණය කිරීමට. ඒ හිරිවැටීමෙන් සදාචාර බලය හදාගෙන ඉස්ලාමීය ත්‍රස්තවාදය මර්දනය කිරීමේ සටන් පාඨය ඉස්සහට දාලා ඇමෙරිකාව කළේ ඒකයි.

‘මරාගෙන මැරෙන ත්‍රස්තයා ස්වර්ගයට – ඇමෙරිකාව…’

මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා හිතාගෙන ඉන්නවා තමන් ස්වර්ගයට යනවා, කියලා. එහෙම එයා ‘කන්‍යාවියන් 72ක්’ සොයා ගෙන ස්වර්ගයට ගියාම ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයට, ඉරාකයට, සිරියාවට ආවා. මෙතැනත් එහෙමයි. වහාබ් අන්තවාදයෙන් ඔළුගෙඩි නරක් කරගත්තු මේ රටේ පිරිසක් ඒ විදියට යන තූත්තුකුඩියක ගියාම ඒක පාවිච්චි කරලා ඇමෙරිකානු අධිරාජ්‍යවාදය රට තුළට රිංගනවා. දැන් මේ රටේ ඉන්න ඇමෙරිකානු තානාපතිවරිය යේමනය, ටියුනීසියාව, සිරියාව හා ඇෆ්ගනිස්ථානය යන රටවල සේවය කර තිබෙනවා. ඒ කියන්නේ ’තලේබාන්, අල්කයිඩා, අයිඑස්’ යන කවර නාමයකින් හෝ පෙනී සිටිමින් වහාබ් අන්තවාදීන් විසින් අඩපණ කළ සෑම රටකම ඇය සේවය කර ඇති බවයි.

මේ සියල්ල රනිල් වික්‍රමසිංහ මහතා දැනගෙනයි සිදු වූයේ. ඒකයි ඔහු බුද්ධි අංශ අඩපණ කළේ. එක දවසින් මේ රටේ විශේෂ තත්වයක් ඇති වුණා. යාඥා කරන්න දේවස්ථානයට යන්න එපා, කිව්වාම අහන්නේ නැති මිනිස්සු ගෙවල් ඇතුළේ තමන්ගේ ආගමික වතාවත් කරන තැනට වැටුණා. දරුවන් ඉස්කෝලේ යවන්න බලාගෙන ඉන්න දෙමව්පියන් ‘කමක් නැහැ මේක ඉවර කරනකම් අපි දරුවෝ ඉස්කෝලේ යවන්නේ නැහැ’ කියන තැනට වැටුණා. වෙසක් උත්සවය නතර කරන්න කිව්වාම ඒකට කිපෙන බෞද්ධයෝ, ‘වෙසක් උත්සවය නවත්වනවා’ කියනකොට නිශ්ශබ්දව අහගෙන ඉන්න තැනට වැටුණා. රටම හිරිවට්ටලා මේ ආණ්ඩුව දැන් තමන්ගේ බටහිර හාම්පුතුන්ගේ අභිලාෂය ඉටු කරන්න යනවා.

අගමැතිවරයා කියනවා, ‘ඇති තරම් ජාත්‍යන්තර සහාය ලැබෙනවා’ කියා. ජාත්‍යන්තර සහාය දෙන්නේ අපට ආදරේට නොවෙයි. නාවික හමුදා සෙබළුන් 6000කට ඉන්න පුළුවන්, යුද ගුවන් යානා 100ක් නවතා තැබිය හැකි ඇමෙරිකා යුද නැව ත්‍රිකුණාමල වරාය අසල මුහුදු තීරයේ නවතා තිබෙනවා. ඒකට අවශ්‍ය සැපයුම් ලබාදෙන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කර ගන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ. ඉන්දීය සාගර කලාපයේ බලය තීරණය වන්නේ’ ‘ශ්‍රී ලංකාව කාගේ ග්‍රහණයේ ද තිබෙන්නේ?’ කියන එක මතයි.

‘ෂොක් ට්‍රීට්මන්ට්’

අද මේ රටේ වැඩ කරන ජනතාවට මැයි දින සැමරුම් අහිමිව ගොස් තිබෙනවා. මැයි දින සැමරුම් නතර කළොත් වෙනදා කිපෙන මෙරට වැඩ කරන ජනතාවට අද ඒක දරා ගන්න සිදුව තිබෙනවා. මේ තමයි ‘ෂොක් ට්‍රීට්මන්ට් එකේ’ ප්‍රතිඵලය. මේ පිරිසගේ දෙවන, තෙවන ඉලක්ක සම්පූර්ණ වුවොත් මේ රට ලේ විලක් වෙලා ‘ඇමෙරිකා බුද්ධි අංශ විතරක් නොවෙයි ඇමෙරිකා හමුදාවත් මේ රටට ගෙන්වන්න’ කියන අසරණ තත්වයට මුළුමහත් ජාතියම ඇද වැටෙන එක වළක්වන්න බැහැ. අපේ රට ඇමෙරිකාවේ තවත් ගොදුරු බිමක් බවට පත්කිරීමටයි මේ යන්නේ. තවත් සිරියාවක්, ලිබියාවක් නිර්මාණය කරන්නයි මේ යන්නේ. මැතිවරණ නැති, ඔවුන්ට ගැති, භාරකාර ආණ්ඩු යටතේ මේ රට පවත්වාගෙන යන තත්වයටයි මේ ඇදගෙන යන්නේ.

‘රනිල් දැනුවත්ව රට ඇදගෙන යන තැන’

අපි මේ සැලැස්ම පැරදවිය යුතුයි. එහිදී සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කරුණ තමයි ‘අපි නීතිය අතට නොගත යුතුයි’ කියන එක. අපි අනෙකාගේ හිසට ප්‍රහාර එල්ල නොකට මේ පැන නැඟී ඇති ත්‍රස්තවාදය පැරදවීමට ආරක්‍ෂක හමුදාවලට උපරිම සහයෝගය දිය යුතුයි. ඔවුන්ට ඕනේ සිංහල – මුස්ලිම් ගැටුමක්. කිතුණු – මුස්ලිම් ගැටුමක්. ලේ විලක් බවට පත් වුණු ශ්‍රී ලංකාවක්. ඔවුන් ඒ ලේ විල පාවිච්චි කර ‘ශ්‍රී ලංකාවේ මානුෂවාදී ආර්බුදයක් ඇතිව තිබේ’ කියා කියනවා. ඉන්පසු ඒ ‘මානුෂවාදී අර්බුදය’ විසඳීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව තහවුරු වන තැනට මේ ප්‍රශ්නය රැගෙන යනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනුවත්ව අද බටහිර අධිරාජ්‍යවාදීන් මේ රට ඇදගෙන යන්නේ ඒ න්‍යාය පත්‍රය තුළයි.

‘රාජිතට වැඩිම තර්ජනය ඇයි?’

මා යළිත් කියනවා, ‘මේක තමයි අපේ රට මුහුණ දෙන තියුණුතම, අනතුරුදායකම අභියෝගය’ කියා. ඒ නිසා ඒ අභියෝගය අපි නිසි බරින් තේරුම්ගත යුතුයි. ඒ අතරේ විහිළු කතාත් ඇහෙනවා. රාජිත සේනාරත්න අමතිවරයා කියනවා, ‘මේ ත්‍රස්තවාදයෙන් වැඩිම තර්ජනය තිබෙන්නේ මටයි’ කියා. සමහරවිට මුස්ලිම් ජනතාව හරක් මස් වෙළඳාම කරන නිසා එයාට එහෙම හිතුනාද, දන්නේ නැහැ. (සභාවේ සිනා) ඒ අස්සේ මංගල සමරවීර කියනවා, ‘ඇමෙරිකාවෙන් ලැබුණා ඩොලර් මිලියන 480ක්. ඒක තමයි මේ කළුවරේ ඇඳුණු රිදී රේඛාව’ කියා. ඇමෙරිකාව ලංකාවට ඩොලර් මිලියන 480ක් දීලා නැහැ. දුන්නත් නිකං දෙන්නේ නැහැ. ත්‍රිකුණාමල වරායේ ඉඳලා කොළඹ වරාය දක්වා කි.මි 200ක් දිග ඉඩම් අක්කර ලක්‍ෂ 12ක් තුළ ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක වන ‘විශේෂ ආර්ථික කොරිඩෝව’ හදන්න දුන්නොත් තමයි ඒ සල්ලි ලැබෙන්නේ.

ඒ විශේෂ ආර්ථික කොරිඩෝව හදන්න ඉඩම් අක්කර ලක්‍ෂ 12ක් දෙන්න හදනකොට ජනතා විරෝධය එනවා. ඒක මැඩපවත්වන්න තමයි ‘ප්‍රති – ත්‍රස්ත පනත’ රැගෙන එන්නේ. ඒ වගේම ඇමෙරිකන්කාරයෝ ඒ විශේෂ ආර්ථික කොරිඩෝව හදලා ඉවර වුණොත් ඒකේ වැඩ කරන්න ලංකාවෙන් සේවකයෝ ඕනෙ වෙනවා. ඒ සඳහා මේ රටේ කම්කරු නීති වෙනස් කරන්න ඕනෙ. පෞද්ගලික අංශයේ පැය 8 වැඩ මුරය, පැය 12 දක්වා වැඩි කරන්න ඕනෙ. ඒ සඳහා දැන් පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා තිබෙන සියලු කම්කරු නීති වෙනස් කරලා එක පනතක් ගෙන එන්න හදනවා. ඒ අනුව පැය 08 වැඩ මුරය පැය 12 වෙනවා. පොහොය දිනය හැර සේවකයාගේ සෙසු නිවාඩු තීරණය කරන්නේ හාම්පුතා.

‘පුළුල් පින්තූරයට අනුව සටන දියත් කරමු!’

විදේශික හාම්පුතුන්ට ස්වදේශික කම්කරුවාගේ ශ්‍රමය සුරාකන්න උවමනා පනත තමයි දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හදන්නේ. ආර්ථික කොරිඩෝවට ඉඩම් අත්පත් කර ගැනීමේ දී ඇති වන විරෝධතා මැඩලන්න උවමනා පනත තමයි ප්‍රති – ත්‍රස්ත පනත නමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගෙන එන්නේ. මේ සියල්ල එකට බැඳිලා තිබෙන්නේ. අපි මේ සම්පූර්ණ චිත්‍රය වටහාගත යුතුයි. වැඩ කරන ජනතාවට අද හුදකලා සටනක් නැහැ. අපි හැමෝටම අද ඇත්තේ එකම ජාතික සටනයි. ඒ තමයි මේ රාජ්‍යය අධිරාජ්‍යවාදීන් විසින් අත්පත්කර ගැනීමට එරෙහි සටන. මේ සටනට තමයි අද මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් නායකත්වය දී ඇත්තේ. මේ සටන පැරදුනොත් අපිට පංති සටන්, වෘත්තීය සටන් කරන්න රටක් ඉතිරි වන්නේ නැහැ. මේ සටන අපි පැරදුනොත් බෞද්ධයාට වන්දනා කරන්න පන්සලක් ඉතිරි වන්නේ නැහැ. කිතුණුවාට දේවස්ථානය ඉතිරි වන්නේ නැහැ. ඉස්ලාම් බැතිමතුනි ඔබේ නිදහසත් ඉතිරි වන්නේ නැහැ. එහෙම වුණොත් අපි සියලුදෙනාම බටහිර අධිරාජ්‍යවාදයේ ගොදුරු බිමක් තුළ කොටුවන එක වළක්වන්නට බැහැ. ඒ නිසා ප්‍රශ්නයේ පුළුල් පින්තූරය දැකලා, ඒ අනුව සටන දියත් කරමු.

ඉතිහාසය විසින් අපේ දෙවුර මත පටවා ඇති ඒ සටන ජයග්‍රහණය කිරීමේ අභියෝගය නිසි බරින් භාර ගනිමු. ඒ සටන ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවාෟ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/05/01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*