BREAKING NEWS

‘සරලව සිතන්න එපා! අද ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට අපේ මව් පොළොව පත්වෙලා’

‘සරලව සිතන්න එපා! අද ආපදා අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට අපේ මව් පොළොව පත්වෙලා’

– හදිසි තත්වයකදී එක්සත් ජනපද හමුදා මෙරටට පැමිණීමට
පාර කපාගෙන ඇති සැටි පෙන්වා දෙමින් විමල් කියයි

රටක් තුළ ආපදා තත්වයක් ඇති කොට පසුව ඊට පිළියම් යෙදීමේ මුවාවෙන් එම රටට රිංගීම අධිරාජ්‍යවාදයේ නවතම ක්‍රමවේදය වී ඇති බවත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ද අදාළ කරගෙන ඇති බවත් වහාබ්වාදී ත්‍රස්තවාදීන් ලවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරවීම එහි මුල් පියවර බවත් එමගින් සිංහල – මුස්ලිම් ගැටුම් අවුලුවා ලේ විලක් නිර්මාණය කොට ඒ ගැටුමට පිළියම් යෙදීමේ මුවාවෙන් එක්සත් ජනපද හමුදා රට තුළට රිංගවීම ඔවුන්ගේ ඊළඟ පියවරයන් වනු ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අනතුරු හඟවා සිටියේය.

හදිසි තත්වයකදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවලට පූර්ව දැනුම් දීමකින් තොරව මෙරටට ඇතුළුවීමේ හැකියාව ගිවිසුමක් මගින් දැනටමත් මේ ආණ්ඩුව සකසා දී ඇති බවට ද ඒ මහතා වැඩිදුරටත් අනතුරු හඟවා සිටියේය.

විමල් වීරවංශ මහතා මෙසේ අනතුරු හඟවා සිටියේ පසුගියදා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති ‘ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ යන මැයෙන් විශේෂ දේශනයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“30 වසරක් බෙදුම්වාදී ත්‍රස්තවාදයත් සමඟ ගැටුණු මේ රටට එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ වේදනාවන්ට ලක් වීමට සිදු වුණා. අපට ඒ කුරිරු ත්‍රස්තවාදය රටක් ලෙස ජයගත හැකි වුණා. එය මේ ජාතිය ලැබූ විජයග්‍රහණයක්. නමුත් ත්‍රස්තවාදය පරදා ලැබූ නිදහසේ දසවර්ෂ පූර්ණය සැමරීමට බලාපොරොත්තුව සිටි ජාතියේ හිස මතට අද මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයන් එල්ල වෙමින් තිබෙනවා.

‘බරපතළම අපරාධකරු කවුද ?’

වහාබ්වාදී ත්‍රස්තවාදීන් විසින් සිදු කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසුව ගෙවීගිය සති 02 තුළ මෙරට ජනතාවගේ ජීවිත කඩාවැටී තිබෙනවා. ආරක්‍ෂිතම ස්ථානය තම නිවස බව විශ්වාස කරමින් ඔවුන් නිවෙස් තුළට වී සිටින තත්වයක් ඇති වී තිබෙනවා. මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට, එම ප්‍රහාරයට දින 12කට පමණ ප්‍රථම විදෙස් ඔත්තු සේවාවක් කරුණු අනාවරණය කර තිබුණා. මෙරට බුද්ධි අංශ විසින් ද ඒ බව තහවුරු කරමින් පාලකයන් දැනුම්වත් කර තිබුණා. එසේ කරුණු අනාවරණය වී තිබියදී තමයි මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල වූයේ. ඒ අනුව මෙහිදී ජීවිත 400ක් පමණ අහිමි කරමින් බෝම්බ පුපුරුවා ගත් ත්‍රස්තවාදීන්ට වඩා බරපතළම අපරාධය කර ඇත්තේ කවුද ? අනතුර කල් තියා දැනගෙන එම අනතුර වළක්වා ගැනීමට ක්‍රියා නොකළ වත්මන් ආණ්ඩුවයි.

මේ රට අද ඛේදවාචකයන් දෙකකට එකවර මුහුණ දී තිබෙනවා. එකක් තමයි ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදය හෙවත් වහාබ් ත්‍රස්තවාදයට මේ රට ගොදුරු වී තිබීම. අනෙක තමයි එවැනි ත්‍රස්තවාදයකට ගොදුරු වී ඇතත් ඉන් රට ගලවා ගැනීමට උවමනාවක් නැති නරුම පාලකයන් පිරිසක් රට පාලනය කිරීම. රටට සිදු වෙමින් තිබෙන දේ ගැන අපි ගැඹුරින් විමසා බැලිය යුතුයි. මාකස්වාදී දර්ශනය තුළ කියැවෙනවා ‘අත්මෝලක් අපට ලැබෙන්නේ රදල ස්වාමියකුගෙන් යුක්ත වැඩවසම් සමාජයකදී ය. වාෂ්පමෝලක් අපට ලැබෙන්නේ කර්මාන්ත ධනපතියකුගෙන් යුක්ත ධනවාදී සමාජයකදී ය.’ කියා. ඒ අනුව යමින් ‘මරාගෙන මැරෙන වහාබ්වාදී ත්‍රස්තවාදියකු අපට ලැබෙන්නේ කුමන සමාජයකදී ද ? ඒ මරාගෙන මැරෙන වහාබ්වාදී ත්‍රස්තවාදියා උවමනා වන්නේ කාට ද? කුමන සමාජ දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ද ?’ යන ප්‍රශ්නවලට පිළිතුරු සොයා නොගතහොත් ඒ පිටුපස තිබෙන නිර්දය කතාව අපට එළියට ගත නොහැකියි. ඒ මුළු පින්තූරය නොදැක අපට මේ විපත්තිදායක මාවතෙන් එළියට එන්න බැහැ.

‘සැබෑ අභිමතාර්ථය සොයා යමු!’

අද රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති හරියට ත්‍රාසජනක චිත්‍රපටියක් වගෙයි. කඩු ඇතුළු ආයුධ, පුපුරන ද්‍රව්‍ය හා ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම් දිගින් දිගටම දැක ගත හැකියි. ඒවා දෙස බලන විට ‘මේ ත්‍රස්තවාදය අවසන් වේවි’ කියා හිතෙනවා. නමුත් ඒ මතුපිටින් පෙනෙන කතාවට වඩා එය පිටුපස තිබෙන කතාව වඩාත් ත්‍රාසජනකයි. ඒ නිසා අපි රූපවාහිනී තිරයෙන් පෙනෙන ත්‍රාසජනක කතාවලට වල්මත් නොවී මේ පිටුපස තිබෙන සැබෑ අභිමතාර්ථය සොයා ගත යුතුයි.

‘මොහොමඞ් ඊබ්‍රාහිම් සහ ජවිපෙ’

එදා එල්ටීටීඊ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාගේ අභිමතාර්ථය අපි දැන සිටියා. ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහි කිරීම ඔහුගේ අභිමතාර්ථය වූවා. දෙමළ ජාතිකත්වය සඳහා වූ වෙනම රටක් වෙනුවෙන් ඒ තැනැත්තා මරාගෙන මැරුණා. එය පොළොවේ තිබූ අභිමතාර්ථයක්. එනම් අරමුණක්. එය අපට කියවා ගැනීමට පුළුවන්. නමුත් දැන් අපට ‘පසුගියදා කිතුණු දේවස්ථාන තුළදී මරාගෙන මැරුණු මිනිසාගේ අරමුණු කුමක් ද?’ කියා එකවර පැවසීම අපහසුයි. ඒ සමඟම ෂැංග්‍රිලා, සිනමන්ඞ් ග්‍රෑන්ඞ් වැනි තරු පංතියේ හෝටල්වලදී මියගිය මිනිසුන්ගේ අරමුණ කුමක් ද? කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනා සහ ලේලිය මරාගෙන මැරුණා. ඔවුන්ගේ අරමුණ කුමක් ද? මොහොමඞ් ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට නම් කළ අයෙක්. ජවිපෙට 2015 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02ක් ලැබුණා නම් අද ඊබ්‍රාහිම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. වියට්නාමයේ ගම්මිරිස් මෙරටට ගෙන්වා කලවම් කර ප්‍රතිඅපනයනය කර මෙරට ගම්මිරිස් ගොවියා මහ මඟට ඇද දැමුවේ මේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක කෝටිපති ව්‍යාපාරිකයායි. ඒ අතරේ ජවිපෙ ගොවි සංවිධානයේ නාමල් කරුණාරත්න කුරුණෑගලින් ඡන්දය බලාපොරොත්තුවෙන් අද ඊබ්‍රාහිම්ගේ ගම්මිරිස් ජාවාරම නිසා පාරට වැටුණු ගම්මිරිස් ගොවියා නඟා සිටුවන්න සටන් කරනවා. මේ ජවනිකා සමඟ යළි අපි හිතා බලමු මේ මරාගෙන මැරුණු පිරිසගේ අරමුණ කුමක් ද? කියා.

‘රිෂාඞ් බදූර්දීන්ගේ සබඳතා’

රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයා දැන් තොත්ත බබකු වෙන්න හදනවා. ‘මෙහෙම දෙයක් වෙයි කියා සිතුවේ නැහැ’ කියනවා. ඊබ්‍රාහිම්ගේ මරාගෙන මැරුණු ලේලිය රිෂාඞ් බදූර්දීන්ගේ නෑනා බව අනාවරණය වී තිබෙනවා. තමන්ගේ නෑනාලා, මස්සිනාලා මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ පසුව මේ ඇමතිවරයා කියනවා ‘මෙහෙම දෙයක් වෙයි කියා සිතුවේ නැහැ’ කියා. රිෂාඞ් බදූර්දීන් කියන්නේ මේ ආණ්ඩුවේ සිටින ප්‍රබලතම කැබිනට් ඇමතිවරයායි. මෙහෙම ඇමතිවරුන් සිටියදී වහාබ්වාදී ත්‍රස්තවාදය මර්දනය කරන්නේ කොහොම ද? ඒ විතරක් ද? ජනාධිපතිවරයා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලිට ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් සඳහා සහභාගී වීමට ඉඩ සලසා දී තිබෙනවා. ඔහු ආරක්‍ෂක මණ්ඩලයේදීම මරාගෙන මැරෙන්න පුළුවන්. මේ පිරිස ආණ්ඩුවක් තුළ තබාගෙන, ඔවුන්ට රැකවරණය දෙමින් අපට මේ වහාබ්වාදී ත්‍රස්තවාදයෙන් ගැලවිය හැකි ද?

‘සිංහල අන්තවාදයේ තර්කානුකූල ප්‍රතිඵලය…?’

මේ සියලු ජවනිකා පෙළ සමඟම තමයි අපට මේ මරාගෙන මැරෙන වහාබ් ත්‍රස්තවාදියාට ආවේණික අරමුණ වටහාගත හැක්කේ. මේ ප්‍රහාරයෙන් දින දෙකකට පසු අයිඑස්අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තා. ‘මේ ඊබ්‍රාහිම්ගේ කෝටිපති පුතාලාගේ වැඩක් පමණක් නොවෙයි අපිත් මේකට සම්බන්ධයි’ කියලයි ඔවුන් කීවේ. ඒ වගේම මියගියා කියූ අයිඑස්අයිඑස් නායකයා හඬ පටයක් මගින් පැවසුවා, ‘සිරියාවේදී සහ ඉරාකයේදී අපව පරාජයට පත් කරනු ලැබුවා. ඒකට පලිගන්නයි ශ්‍රී ලංකාවේ මේ පිපිරිම් කළේ’ කියා. නමුත් රජයේ රූපවාහිනී නාලිකාවලට අරක්ගත්තු අනාගමික බක පණ්ඩිතයන් අයිඑස්අයිඑස් නායකයාටත් එහා ගිහින් කියනවා, ‘මේක සිංහල අන්තවාදයේ තර්කානුකූල ප්‍රතිඵලයක්’ කියලා.

‘වේදනාව පිට කරන්න ලංකාවම…’

ඒ බක පණ්ඩිතයන්, රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් කාක්කන් කියන දෙය නොවෙයි මෙහිදී අප සලකා බැලිය යුත්තේ. ‘අයිඑස්අයිඑස් නායකයා තමන්ගේ වේදනාව පිට කිරීමට ශ්‍රී ලංකාවම තෝරා ගත්තේ ඇයි ?’ කියලයි. රනිල් වික්‍රමසිංහ වැනි ‘ලොන්ත පෝල්’ නායකයකු සිටින එකම රට ශ්‍රී ලංකාව නිසා ද? ‘ලොන්ත’ කියන්නේ ‘ආබාධිත’ යන්නට කියන පෘතුගීසි වචනයක්. පෘතුගීසි සමයේ කොළඹ විසූ පෝල් නැමති ආබාධිත පුද්ගලයකු හැඳින්වීමටයි ‘ලොන්ත පෝල්’ යන යෙදුම භාවිතා වුණේ. මෙයාලත් හොඳ ‘ලොන්ත පෝල්ලා’ තමයි. අපේ රට මුස්ලිම් බහුතරයක් සිටින හෝ සුන්නි – ෂියා මුස්ලිම් ගැටුම් පවතින හෝ රටක් නොවෙයි. එහෙමනම් ශ්‍රී ලංකාවම තෝරා ගත්තේ ඇයි ? එක තමයි මෙහිදී අපට විසඳා ගැනීමට තිබෙන මූලිකම කාරණය. කවර හෝ විදේශීය බලවේගයක් එල්ටීටීඊ ත්‍රස්තවාදය හරහා මේ රට දෙපලු කරලා ගිලගන්න කුරුමානම් ඇල්ලුවා නම්, ඔවුන් තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට නොහැකි වීම විසින් ඊළඟට තබන ලද පියවර වන්නේ මේ අයිඑස්අයිඑස් වහාබ්වාදී ත්‍රස්ත ක්‍රියාන්විතය මිස අන් කිසිවක් නොවෙයි.

‘ඔත්තු සේවාවලින් මුදල් ගෙවීම’

එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදා 07 වැනි බුද්ධි බලකාය ත්‍රිකුණාමලය කේන්ද්‍රකර ගමිනින් පිහිටුවූයේ වෙන කිසිවකටවත් නොවෙයි මේ වහාබ්වාදී අන්තවාදය නැඟෙනහිර පළාත තුළ හිස ඔසවන ආකාරය නිරීක්‍ෂණය කිරීමටයි. ඒ වගේම 2011 පමණ සිට ඊබ්‍රාහිම් නැමති ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයාගේ නිවසට යන අය පිළිබඳ යුද හමුදා බුද්ධි අංශ සෙවිල්ලෙන් සිටියා. මේ ගැන තමයි අද රාජිත සේනාරත්නලා අසත්‍ය ප්‍රචාර කරන්නේ ? ‘සල්ලි දීලා’ කියලත් රාජිත සේනාරත්න ඇමතිවරයා කියනවා. මේ ‘ලොන්ත පෝල්ලාට’ තේරෙන්නේ නැහැ බුද්ධි අංශ ක්‍රියා කරන ආකාරය ගැන. බුද්ධි මෙහෙයුම්වලදී ඔවුන් විසින් සංවිධානවලට ඇතුළු වීමට, තොරතුරු ලබා ගැනීමට ඒවායේ ඇතැම් පුද්ගලයන් යොදා ගන්නවා. ඒ පුද්ගලයන්ට යම් ගෙවීමක් කළාට සංවිධානවලට ගෙවීමක් සිදු වන්නේ නැහැ. මේ රටේ ඇතැම් දේශපාලනඥයන් විදේශ ඔත්තු සේවා සමඟ සමීපව කටයුතු කරනවා. ඒ සඳහා ඔවුන්ට යම් ගෙවීමක් කරනවා. රාජිත සේනාරත්න ඇමතිවරයාටත් කවුරුන් හෝ එහෙම ගෙවීමක් කරනවා ද, කියා දන්නේ නැහැ.

මේ වහාබ්වාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය ඉහත කී ආකාරයට ඉතා හොඳින් අපේ බුද්ධි අංශ විසින් නිරීක්‍ෂණය කරනු ලැබුවා. ලැබුණු තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. නමුත් 2015 ජනවාරි 09 වැනිදා සිට ඒ සියල්ල අඩපණ වූවා. 2015 දී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙනා 30/1 යෝජනාවට එවකට විදේශ ඇමති මංගල සමරවීර එකඟවීම, ඒ යෝජනාවෙන් අපේ ආරක්‍ෂක හමුදාවන්ට යුද අපරාධ චෝදනා එල්ලකර තිබීම, එක්නැලිගොඩගේ මරණය හෝ අතුරුදහන් වීමට හෝ යුද හමුදාව පැටලවීම යන ඒවා සිදු වුණේ නිකම් නොවෙයි. නැඟෙනහිර යුද හමුදා බුද්ධි මූලස්ථානය වූ ගිරිතලේ කඳවුර අයත් වූයේ 03 වැනි බුද්ධි බලකායටයි. එහි සිටි මේජර් සලේ නැමති රණවිරුවා වහාබ් අන්තවාදය පැරදවීම පිළිබඳ විශේෂ පුහුණුවක් පවා ලබා සිටියා. 2015 දී බලයට ආපු මේ ආණ්ඩුව මේජර් සලේව පළමුව මැලේසියාවටත් දෙවනුව ඉන්දියාවටත් යවා නැඟෙනහිර වහාබ් අන්තවාදයට එරෙහි බුද්ධි මෙහෙයුම් අඩපණ කළා. ඒ විතරක් නොවෙයි ඒ 03 වැනි බුද්ධි බලකායේ සේවයේ යෙදී සිටි බුද්ධි ප්‍රධානීන් 21ක් හිරේට දැම්මෙත් මේ ආණ්ඩුවයි. අදටත් මේ බුද්ධි නිලධාරීන්ට නඩු පවරා නැහැ. එරෙහිව ඇත්තේ බී වාර්තා පමණයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ෂානි අබේසේකර සහ පොලිස් පරීක්‍ෂක නිශාන්ත කන්දප්පා ගිරිතලේ හමුදා කඳවුරේ පවත්වාගෙන ගිය 03 වැනි බුද්ධි බලකා ක්‍රියාන්විතය නතර කළා. ඒ කඳවුරට සීල් තබා එහි තිබූ නැඟෙනහිර වහාබ් අන්තවාදයට අදාළ ලිපිගොනු සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආවා.

‘රනිල් – මෛත්‍රී – බුද්ධි වාර්තා’

බුද්ධි අංශ, 2015 සිට රැස් වූ ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් 11කට මේ නැඟෙනහිර හිස ඔසවමින් තිබෙන වහාබ් අන්තවාදය පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබුණා. ඉහත කී ආරක්‍ෂක මණ්ඩල රැස්වීම් 11න් 09කට සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‘වහාබ් අන්තවාදය’ ගැන බුද්ධි අංශ පෙන්වා දෙන සෑම අවස්ථාවකදීම නිදි කිරා වැටෙන්න පටන් ගත්තාලු. ඒ සාකච්ඡා අතරමඟ ‘මට වෙන වැඩක් තියෙනවා’ කියා පිටව ගියාලු. ජනාධිපතිවරයාත් මෙය අවශ්‍ය බරින් භාරගෙන නැහැ. ඒකට හේතුව තමයි ‘මුස්ලිම් ඡන්ද ටික නැති වෙයි’ කියන බය. එතුමාත් බලාපොරොත්තු වෙනවානේ දෙවන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. ඒ හීනය කඩා ගන්න එතුමාත් කැමැති වෙලා නැහැ. අගමැති නම් දැනුවත්වයි මෙය මඟහැර ඇත්තේ. මේ දෙදෙනාගේම ක්‍රියාකාරීත්වය නිසා පසුගිය අවුරුදු හතරහමාර තුළ වහාබ්වාදී අන්තවාදයට මරාගෙන මැරෙන මිනිසකු නිර්මාණය කර ගැනීමට ඉඩකඩ ලැබුණා.

‘දැනුවත් හවුල්කාරයා’

විදෙස් ඔත්තු සේවාවකින් පසුගියදා මේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ තමන්ට දැනුම් දුන්නාම අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඒ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නා. ඒකට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රතිචාරය වුණේ. ‘ඔන්න ඕක පැත්තක දාලා ඔයා ඔයාගේ වැඩක් කර ගන්න’ යන්නයි. ඒ වගේම වෙන අවුරුදුවල විදෙස්ගත වන රනිල් ලිපගිනි මෙලෙව්වා, ජනපති තිරුපති ගියා, මරාගෙන මැරෙන ත්‍රස්තයන් කන්‍යාවියෝ 72ක් සොයා ගෙන ගියා. කවදාවත් නැතිව අගමැති රනිල් නිවසට වෙලා, ලිපගිනි මෙලවූ ආකාරය දැක්කාම ‘රටට මහා විපතක් වේවි’ කියා හිතුණා. ඔහු යුද හමුදා බුද්ධි අංශ, නාවික හමුදා බුද්ධි අංශ අඩපණ කළා. මේ වහාබ් අන්තවාදයට නිදහසේ වැඩෙන්න දුන්නා. පිපිරීම් සිදු වීමට නියමිත බව අනාවරණය වෙද්දී නොසලකා හැරියා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ විනාශයේ දැනුවත් හවුල්කරුවකු බව ඉතා පැහැදිලියි. ‘උඩ එක්කෙනා’ නම් නොදැනුවත් හවුල්කාරයෙක්. එයාට කියන්නේ ‘මම දන්නේ නැහැ’ කියලානේ.

‘30/1 යෝජනාව සහ පිපිරීම් අතර අන්තර්සම්බන්ධය’

අපි දැන් යළිත් අපේ මුල් ප්‍රශ්නයට එමු. මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට ශ්‍රී ලංකාවම තෝරා ගත්තේ ඇයි ? ඒ ප්‍රශ්නය නිවැරදිව සාකච්ඡා කළාම තමයි අපිට තිගැස්මකින් තොරව ඇති වී තිබෙන භීතිය මකාගෙන ඉදිරියට යාමට පුළුවන් වෙන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ 30/1 යෝජනාව අනුවයි, මෙරට ආරක්‍ෂක හමුදා බෙලහීන කළේ. බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමලා, උතුරු – නැගෙනහිර හමුදා කඳවුරු 100ක් පමණ ඉවත් කරලා, අවි ගබඩා පුපුරවලා, බර අවි මුහුදුබත් කරලා දැනුවත්ව ඒ දෙය කළා. ඇමෙරිකා එක්සත් ජනපද 30/1 යෝජනාව, එයට ජිනීවාවලදී මංගල සමරවීර ඇමතිවරයා සහයෝගය පළ කිරීම, මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හා මේ වහාබ්වාදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර අතර අන්තර්සම්බන්ධතාවක් තිබෙනවා. ඒ අන්තර්සම්බන්ධතාව නිවැරදිව වටහා නොගෙන මේ සැලසුමේ මුල සොයා ගන්න බැහැ.

ඔබ හොඳින් නිරීක්‍ෂණය කරන්න. මේ සිදු වූ ඛේදනීය සිදුවීම ආණ්ඩුවේ කිසිවකුටත් වේදනාකාරී වී නැහැ. ඔවුන් එය ආශ්වාදනීය සිදුවීමක් ලෙස වින්දනය කරනවා. එහෙම මනසක් ඇති වෙන්නේ කොහොම ද? අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ‘විපතට පත් වුණු දරුවකුට රුපියල් ලක්‍ෂයක් දෙනවා’ කියා බාලාංශ කතාවක් කියනවා. රාජිත සේනාරත්න ඇමතිවරයා කියනවා, ‘වැඩිම තර්ජනය ඇත්තේ මට’ කියා. එයාට සාධාරණ බයක් ඇති, ඒ මම කලින් කියූ පරිදි මුස්ලිම් ජාතිකයන් හරක් මස් වෙළඳාම කරන නිසයි. ඒ වගේම කැලෑ පත්තරයක් ගහලා අහුවුණු කිරිඇල්ල ඇමතිවරයා කියනවා. ‘මම පිපිරීම් සිදු වුණු දවසේ ඉඳලා අමාත්‍යාංශයට ගියේ නැහැ’ කියා. අදාළ ආරක්‍ෂාව තිබියදී ඇමතිවරුන් අමාත්‍යාංශයටවත් නොයා, කිසිදු ආරක්‍ෂාවක් නැති අපේ දරුවන් පාසල් යවන්න කියා කියනවා. ඒ නිසා මේ ආණ්ඩුව ‘බාලාංශ පංතිය – මන්ද මානසික පාසල – මහලු මඩම’ යන ඒවා එකට එකතු වූවාම හැදෙන එකක් ලෙස ඔබට පෙනෙන්නේ නැද්ද? මෙවැනි ආණ්ඩුවකට මේ තත්වය කළමනාකරණය කළ හැකි ද? ඉතිං අපට මේ ‘ලොන්ත ආණ්ඩුවේ’ ස්වභාවය තේරුම් ගෙන, ඒ වේදනාවත් දරාගෙන මෙහි පතුල සොයා යන්න සිදු වෙනවා.

30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව බෙලහීන කිරිමේ අරමුණ ප්‍රකාශයට පත්වීම, කියන තැන තමයි පටන් ගැනුම. පැවැති ආණ්ඩුව එවැනි යෝජනාවකට අවනත නොවන නිසා, එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වා එහි සඳහන් සියල්ල ඉටු කරන ආණ්ඩුවක් 2015 ජනවාරි 08 නිර්මාණය වීම, 30/1 යෝජනාවේ නිශ්චිතව සඳහන්ව නැතත් ආරක්‍ෂක හමුදාවල අවිබලය අඩු කිරීම යන කරුණට අනුව ‘සාලාව’ අවි ගබඩාව පුපුරුවා හැරීම යන සියල්ල ඉහත කී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව බෙලහීන කිරීම යන අරමුණට අදාළව සිදු වූ ඒවා.

‘ප්‍රසූත වේදනාවට දරුවා වගකිව යුතුද ?’

දැන් බලන්න, බෙදුම්වාදී එල්ටීටීඊ ත්‍රස්තවාදය පරදවා ජයග්‍රහණය කළාම චෝදනා එල්ල කළේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ටයි. ඒක හරියට ‘දරු ප්‍රසූතියේදී මවට දැනෙන වේදනාවට දරුවා වගකිය යුතුයි’ කියනවා වගේ එකක්. ම්ලේච්ඡ ත්‍රස්තවාදයක් අවසන් කිරීමේදී යම් වේදනාවක් ඇති වෙනවා. ඒක සුළුපටු කාරණයක් නොවෙයි. ඉහත උදාහරණය අනුව, දරුවා ඉපදුනාට පසුව ප්‍රසූත වේදනාවට වගකිය යුතුයි කියා දරුවා මරාගෙන කන්න යාම සුදුසු ද? ඒ වගේ වැඩක් නොවෙයි ද මේ ආණ්ඩුව තමන්ගේ බටහිර හාම්පුතුන් සමඟ එකතු වී සිදු කළේ ? එය තමයි 30/1 යෝජනාව හරහා ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ න්‍යාය පත්‍රයේ අංක 01. ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍යය ජාතික ආරක්‍ෂාව අතින් ආබාධිත තත්වයකට පත්වුණා. එහිදී අනාගතයේදී ඇති විය හැකි ත්‍රස්ත උවදුරකට මුහුණ දිය නොහැකි තත්වයකට ආරක්‍ෂක හමුදා බිඳවට්ටනු ලැබුවා. අපේ ආරක්‍ෂක හමුදාවල නොහැකියාව නම් වූ ‘හිඩැස’ වෙනත් ආකාරයකින් පුරවන්නට වාතාවරණය සකසා ගැනීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ අංක 02 ලෙස වටහාගත හැකියි.

‘ආපදා අධිරාජ්‍යවාදය’

ලෝකයේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ලේඛකයන් අතර ආර්ථික විද්‍යාඥයකු හා භූ දේශපාලන විශ්ලේෂකයකු වන පීටර් කොනිග් (Peter Konig) ද වෙනවා. ඔහු ‘Sri Lanka:Candidate for a New NATO Base?’ යන ශීර්ෂපාඨය සහිතව පසුගිය මැයි 01 වැනිදා ලිපියක් පළ කොට තිබෙනවා. එය පළව ඇත්තේ ‘ග්ලෝබල් රිසර්ච්’ නැමති වෙඞ් අඩවියෙයි. මේ ලේඛකයා අවුරුදු 30ක කාලයක් ලෝක බැංකුවේ සේවය කළ අයෙක් වගේම පර්යේෂණ කෘති ගණනාවක කතුවරයෙක්. ඔහුගේ ඉහත කී ලිපියේ අපූරු යෙදුමක් තිබෙනවා. ඒ තමයි ‘ආපදා අධිරාජ්‍යවාදය’ යන්න. අධිරාජ්‍යවාදීන්ට ලෝකයේ යම් රටකට රිංගීමට අවශ්‍ය නම් ඔවුන් යොදාගන්නා එක් ක්‍රමයක් තමයි එම රටේ ආපදාවක් ඇති කිරීම. දෙවනුව ඒ ආපදාව මගින් ඒ රට කම්පනය දනවන තත්වයකට පත් කිරීම. තෙවනුව ඒ කම්පනය මගින් ඉහත කී රටට යථා තත්වයට පත්වීම අසීරු කිරීම, අවසානයේ ඒ ආපදාව තමන්ට ඒ රටට ඇතුළුවීමට මාවතක් බවට පත්කර ගැනීම. එම පියවර 04 තමයි ආපදා අධිරාජ්‍යවාදයේදී අධිරාජ්‍යවාදීන් විසින් යොදා ගන්නේ. ඒ ‘ආපදා අධිරාජ්‍යවාදයේ’ ජවනිකා තමයි අද අප ඉදිරියේ රඟ දැක්වෙමින් තිබෙන්නේ.

අපට මේ සාකච්ඡාවේදී බොහෝ කරුණු අවබෝධකර ගැනීමට හැකි වුණා. මේ කතාවේ ඉතිරි කොටස පැහැදිලි කර ගැනීමට අපි පසුගිය වසර හතරහමාර තුළ ශ්‍රී ලංකා රජය ඇමෙරිකා එක්සත් ජනපදය සමග අත්සන් තැබූ ගිවිසුම් දෙසට හැරෙමු. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය සමග මේ ආණ්ඩුව ගිවිසුම් දෙකක් අත්සන් තබා තිබෙනවා. තවත් ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටිනවා. අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම (ACSA) ඉන් එකක්. යුද්ධය පැවති කාලයේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස සිටියදී මෙනමින් පිටු 04ක ගිවිසුමක් ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තබනු ලැබුවා. ඒ පිටු හතරේ ගිවිසුමේ තිබුණේ යම්කිසි තත්ත්වයකදී ඇමරිකා නාවික හමුදාවට අයත් නැව් ශ්‍රී ලංකා වරායට පැමිණියොත් ඒවාට ඉන්ධන සැපයීම, පිරිසට ආහාර පාන ලබා ගැනීමට පහසුකම් සැපයීම වැනි ඉතා සරල කාරණා කිහිපයක්. එය අවුරුදු 10කට පමණක් වලංගු ලෙසයි අත්සන් තබා තිබුණේ. ඒ වසර 10 අවසන් වුණා.

ඉන්පසුව මේ ආණ්ඩුව කාලසීමාවකින් තොරව, පිටු 04ක ගිවිසුම පිටු 80ක ගිවිසුමක් බවට පරිවර්තනය කළා. ඒ නව ගිවිසුම රටට, ජනතාවට පමණක් නොවෙයි පාර්ලිමේන්තුවටත් රහසේ අත්සන් තබනු ලැබුවා. එයට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අස්සන් කළේ වත්මන් ජනාධිපතිතුමන් පත්කරනු ලැබූ එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ‘මම දන්නේ නැහැ’ කියන්න හැකියාවක් නැහැ. එහි ඉතා බරපතළ කරුණු ගණනාවක් තිබෙනවා. ඒවා අතරින් වඩාත්ම බරපතලම කාරණය තමයි ‘හදිසි තත්ත්වයකදී උපලේඛනයේ සඳහන් එක්සත් ජනපද හමුදා බලකායන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට එකඟතාව පළ කරන්නෙමු’ යන වගන්තිය. උපලේඛනයේ එක්සත් ජනපද මැරයින් බලකාය ඇතුළු බලකායන් ගණනාවක නම් සඳහන්ව තිබෙනවා. මේ ‘හදිසි තත්ත්වය’ තමයි මේ ඊබ්‍රාහිම්ගේ පුත්තු මරාගෙන මැරිලා හදලා දෙන්නේ. ‘හදිසි තත්ත්වය’ හොඳටම හැදෙන්නේ මේ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් කුපිත වෙලා සිංහල ජනයා මුස්ලිම් ජනයාගේ ඔළුවලට කැති, පොලු පාත් කළාම. ඒ ඇමරිකා එක්සත් ජනපදය බලාපොරොත්තුවෙන් සිටින ‘හදිසි තත්ත්වය’ තවම හැදිලා නැහැ. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය හිතනවා නම් ‘දැන් හදිසි තත්වය හැදිලා ඉවරයි’ කියා ඔවුන්ට ශ්‍රී ලංකා භූමියට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ඇතුළු වීමේ ඉඩකඩ මේ ගිවිසුමෙන් සකසා දී අවසන්.

‘දෙවන ගිවිසුම’

1995 යුද්ධය පැවැති කාලයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරිය ලෙස කටයුතු කරද්දී සහ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා විදේශ අමාත්‍ය ධුරය දරද්දී එවකට මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයා විදේශ අමාත්‍යාංශය වෙත යැවූ ලිපියක, ‘ශ්‍රී ලංකාවට පැමිණෙන අපේ යුද විශේෂඥයන්ට තානාපති මුක්තිය ලබා දීමට එකඟ වන්න. මෙම ලිපියට එකඟ බව දන්වා ලිපියක් එවීම පමණක් දෙරට අතර ගිවිසුමක් ලෙස සැලකේ’ යනුවෙන් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා රජය ඊට එකඟ වූවාට පසුව යුද පුහුණු කටයුතු සඳහා හෝ වෙනත් කටයුතු සඳහා වසරකට පැමිණි ඇමෙරිකානු යුද විශේෂඥයන් 10-12කට 1995 සිට තානපති මුක්තිය ලැබුණා. මේ ආණ්ඩුව බලයට ආවාට පසුව ඉහත ගිවිසුම වැඩි දියුණු කරමින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලිපියක් ලැබෙනවා, ‘ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ඕනෑම නිලධාරියකුට හා එහි කොන්ත්‍රාත්කරුවකු හෝ සැපයුම්කරුවකුට තානාපති මුක්තිය ලබාදෙන්න. මෙයට එකඟ බවට ඔබ විසින් එවනු ලබන පිළිතුරු ලිපිය ලැබීම පමණක් දෙරට අතර ගිවිසුමක් ලෙස සැලකේ’ කියා. මා දන්නා පරිදි මෙම ලිපියට ‘එකඟයි’ යනුවෙන් පිළිතුරු ලිපියක් මෙම ආණ්ඩුව යවා තිබෙනවා. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පතක් හිමි අයකුට හෝ එහි කොන්ත්‍රාත්කරුවකු හෝ සැපයුම්කරුවකු ලෙස අනන්‍යතාව පෙන්විය හැකි අයකුට පරික්‍ෂා කිරීමකින් තොරව මේ රටේ ඕනෑම තැනකට යාමට පුළුවන්. ඔවුන් යන එන වාහන පරීක්‍ෂා කිරීමට බැහැ. මේ යටතේ 1000ක් නොවෙයි 10,000ක් වුවත් පැමිණිය හැකියි. සීමාවක් නැහැ. තානාපති මුක්තිය ලැබෙනවා කියන්නේ ඔවුන් මේ රටේ නීතියට යටත් නැහැ කියන එකයි. ලෝකයේ සෑම ත්‍රස්ත ක්‍රියාවක් පිටුපසම සිටින බලවත් රාජ්‍යයක ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්, කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන්ට තානාපති මුක්තිය සහිතව තම රටට ඇවිත් කටයුතු කිරීමට ඉඩ දෙන්නේ කවර ආකාරයේ පාලක රැලක් ද ? ඒ ගිවිසුමත් දැන් ක්‍රියාත්මකයි.

‘අන්තවාදීන්ට පුපුරන ද්‍රව්‍ය ලැබෙන හැටි’

ඔබ දන්නවා, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජෝන් සී. ස්ටෙනින්ස් නැව ත්‍රිකුණාමල වරාය කිට්ටුව අපේ මුහුදු සීමාව තුළ නවතා තිබෙන බව. ඇමෙරිකා එක්සත් ජනපද 07 වැනි පැසිෆික් නාවික බලඇණියේ නිලධාරීන් 6500ක් එහි සිටිනවා. ප්‍රහාරක ගුවන් යානා 100කට වඩා එහි රැඳවිය හැකියි. මා ඉහත කී දෙවන ගිවිසුම අනුව මේ යුද නෞකාවට අවශ්‍ය සැපයුම් ද්‍රව්‍ය ඇමෙරිකාවේ සිට විශාල ගුවන් යානාවකින් කටුනායකට රැගෙන විත් කුඩා ගුවන් යානා 02කින් ත්‍රිකුණාමලයට රැගෙන යනවා. ඒවා ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නිසා කිසිදු පරීක්‍ෂා කිරීමක් සිදු කරන්නේ නැහැ. මෙසේ කිසිදු පරීක්‍ෂාවකින් තොරව රැගෙන එන ද්‍රව්‍ය අතර පුපුරන ද්‍රව්‍ය තිබෙන්නට බැරි ද? ඒවා නැගෙනහිර කඳවුරු බැඳ සිටි වහාබ් අන්තවාදීන්ට බෝට්ටු මගින් යැවීමට නොහැකි ද? ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ එහෙම කිරීමට බැරි රටක් ද?

‘07 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය’

ඇමරිකා එක්සත් ජනපද 07 වැනි පැසිෆික් නාවික බලඇණිය ඉතා බලවත් එකක්. එය ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 50%කට වගකිව යුතු ලෙස ව්‍යාප්ත කොට තිබෙනවා. වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා බලයට පැමිණි පසු ‘07 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය’ ලෙස එහි නම වෙනස් කරනවා. එහෙම කළේ මේ වන විට ඉන්දියානු සාගර කලාපයේ වටිනාකම ඉහළ ගොස් ඇති නිසයි. මේ වන විට චීනය ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර ‘වන් බෙල්ට් – වන් රෝඞ්’ ව්‍යාපෘතිය අරඹමින් සේද මාවත අලුත් කර තිබෙනවා. තායිලන්තය හරහා ‘ක්‍රා ඇළ’ කපා සිංගප්පූරු වරායට නොගොස් ඉතා ඉක්මනින් හම්බන්තොට වරාය හරහා යා හැකි ලෙස සේද මාවත අලුත් වී තිබෙනවා. ඒ නිසා චීනයට මෙහිදී ශ්‍රී ලංකාව ඉතා වැදගත් වෙනවා. චීනය බලන්නේ ශ්‍රී ලංකාව ස්ථාවරව තිබියදී තමන්ගේ ගනුදෙනු කර ගන්නයි. නමුත් එක්සත් ජනපදයට අවශ්‍ය ස්ථාවරව තිබෙන ශ්‍රී ලංකාවක් සමග ගනුදෙනු කිරීමට නොවෙයි. ඔවුන්ට උවමනා ශ්‍රී ලංකාව අස්ථාවර කොට අත්පත් කරගැනීමට. ‘වන් බෙල්ට් – වන් රෝඞ්’ ව්‍යාපෘතිය සාර්ථකව පවත්වාගෙන යාමට චීනයට ශ්‍රී ලංකාව ස්ථාවරව, අසමත් රාජ්‍යයක් නොවී පැවතීම අත්‍යවශ්‍යයි. නාවික භාණ්ඩ ප්‍රවාහනය ලෝකය කොතරම් දියුණු වුවත් යල්පැන යන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ චීනයට හා ඇමරිකා එක්සත් ජනපදයට ඉන්දීය සාගර කලාපයේ ආධිපත්‍යය ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව ඉතා වැදගත්. එල්ටීටීඊ ත්‍රස්තවාදය ලවා ශ්‍රී ලංකාව දෙකඩකර ගත්තානම් ඇමෙරිකාව ත්‍රිකුණාමලයේ තම යුද කඳවුරක් පිහිටුවා ගැනීම සිදු කරනවා. එහෙමනම් ත්‍රිකුණාමලයට බින්න බහින්නේ මේ 07 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය. නමුත් අපට එල්ටීටීඊ ත්‍රස්තවාදය පරද්දන්න පුළුවන් වුණා. ඒ නිසා මේ ක්‍රියාත්මකව ඇත්තේ ඊළඟ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ ප්‍රහාරයයි.

‘හදිසි තත්වය හදන හැටි’

ජෝන් සී. සිටෙනින්ස් නැවට අවශ්‍ය සැපයුම් සිදු කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ 73 වැනි යුද සැපයුම් අනුඛණ්ඩයයි. ඒ 73 වැනි යුද සැපයුම් අනුඛණ්ඩය තමයි ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන්නේ. සිංගප්පූරුවේ මෙතෙක් කලක් සිටි ඒ හමුදා අනුඛණ්ඩය ශ්‍රී ලංකාවට එවීමට හදන්නේ ඉන්දියානු සාගර කලාපයේ ආධිපත්‍යය තමන් අතට ගැනීමටයි. ඉහත පළමු ගිවිසුම අනුව ඇමෙරිකානු හමුදා අනු ඛණ්ඩවලට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි ‘හදිසි තත්වය’ හැදිය යුතුයි. ‘මරාගෙන මැරියන්’ කීවම එහෙම මැරෙන්නට සූදානම් ‘පිස්සන්’ නැහැ. නමුත් එහෙම පිරිසක් වහාබ්වාදී අන්තවාදීන් අතුරෙන් හදාගත හැකියි. බෞද්ධ ධර්මයේ ශ්‍රද්ධාවන් අතුරින් භක්තිය පෙරදැරි කර ගත් ශ්‍රද්ධාව හැඳින්වෙන්නේ ‘අමූලිකා ශ්‍රද්ධා’ කියලයි. බුදුන් වහන්සේ මෙය ප්‍රවර්ධනය කළේ නැහැ. බුදුන් වහන්සේ ප්‍රවර්ධනය කළේ ‘ආකාරවතී ශ්‍රද්ධාව’ යි. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ධර්මය අවබෝධකර ගැනීම විසින් ඇති වන ශ්‍රද්ධාවයි. වහාබ්වාවාදය කියන්නේ භක්තියේ උපරිමයට ගෙන යන එකක්. දෙවියන් වහන්සේ ළඟට යන්න පුළුවන් නම්, කන්‍යාවියන් 72ක් ලැබෙනවා නම් මරාගෙන මැරෙනවා. මෙහෙම මැට්ටන්, හරක් ටිකක් වෙන කොතැනකින්වත් සොයා ගන්න බැහැ.

‘හිස්බුල්ලා සහ ශරියා විශ්වවිද්‍යාලය’

2015 ජනවාරි 08 වැනිදා සිට රට තුළ ක්‍රියාත්මක වූයේ ජාතික ආරක්‍ෂාව බිඳවට්ටවන, ආරක්‍ෂක හමුදා බෙලහීන කරන සතුරාගේ න්‍යාය පත්‍රයක් බව මා ඉහත දී පෙන්වා දුන්නා. 2011 පමණ සිට මේ වහාබ් අන්තවාදය රට තුළ හිස එසවීමට උත්සාහ කළා. ඊට පැවැති ආණ්ඩුවෙන් ඉඩ ලැබුණේ නැහැ. බුද්ධි අංශ ඒ පිළිබඳව අවධානයෙන් සිටියා. නමුත් 2015න් පසුව වහාබ් අන්තවාදයට රිසි සේ වැඩෙන්න ඉඩකඩ ලැබුණා. බරපතළම කාරණය තමයි මේ සඳහා මුදල් ලැබෙන්නේ මැද පෙරදිග ඇතැම් රටවලින් වීම. දැන් බලන්න මැදපෙරදිග රටවල ආධාර යටතේ මඩකලපුවේ වෘත්තීය පුහුණු ආයතනයක් ඇරඹිමට තමයි 2013 දී වත්මන් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා අවසරය ලබාගෙන තිබුණේ. දැන් එය නීතියට පටහැනිව, ෂරියා නීතිය උගන්වන විශ්වවිද්‍යාලයක් ලෙස හඳුන්වනවා. එතැන ගොඩනැගෙන්නේ වහාබ් අන්තවාදය දකුණු ආසියාව පුරා ව්‍යාප්ත කරන තිප්පොළයි. ඇතමුන්ට හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා අහිංසකයකු ලෙස පෙනෙයි. නමුත් මේ වහාබ් අන්තවාදය ශ්‍රී ලංකාව තුළ පැල කිරීමේ ප්‍රමුඛයකු වන්නේ ඔහුයි. එදා පොලීසියත් මැදිහත් වී හදපු මහනුවර දිගන ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් ගැටුම සම්බන්ධයෙන් දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාගෙන් පැය 10කට වැඩි කාලයක් ප්‍රශ්න කළා. නමුත් අද වහාබ් ත්‍රස්තවාදයට අනුබල දුන් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගෙන් හෝ ඇමති රිෂාඞ් බදූර්දීන්, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අයගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. දැන් බබෙක් වෙන්න හදන අසාත් සාලි ආණ්ඩුකාරවරයා ඉන්දීයාවේදී මාධ්‍ය වෙත පවසා තිබුණේ ‘මුස්ලිම් තරුණයන් අවි ගත්තොත් අපි ඊට නායකත්වය දෙනවා’ කියලයි. අද එයා ආරක්‍ෂක මණ්ඩල සාමාජිකයකු කරලා.

‘මීයා සහ ගැරඬියා’

ෂරියා විශ්වවිද්‍යාලය, මුස්ලිම් කාන්තාවන්ට මුළු ශරීරයටම වැසෙන අරාබි අනන්‍යතාව සහිත ඇඳුම්, අරාබි පාසල්, මද්‍රසා පාසල් මේ සියල්ල සමඟ තමයි වහාබ් අන්තවාදය ව්‍යාප්ත වන්නේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ භාෂාව අරාබි භාෂාව කරන්නයි මේ අය සූදානම් වෙන්නේ. අරාබි අනන්‍යතාව පෙන්වන තරමට තමයි මැද පෙරදිග රටවලින් වැඩිපුර මුදල් ලැබෙන්නේ. කෙසේ නමුත් අද වන විට මේ වහාබ් අන්තවාදය මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් හදන තැනට පත් වෙලා. දැන් ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය ‘හදිසි තත්වය, ආපදාව’ හදන්න යොදා ගන්නේ පසුගිය අවුරුදු හතරහමාර තුළ හොඳින් වැඩුණු වහාබ් ත්‍රස්තවාදයයි. මේක ‘මීයා’ කලින් එවා ‘ගැරඬියා’ ඒ පසුපස ඒම වගේ වැඩක්. ‘ගැරඬියා’ ආවාට මෙතැනදී ‘මීයා’ ගිලින එකක් නැහැ. ‘මීයා’ සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටීවි.

‘කාදිනල්තුමන්ට අපගේ ප්‍රණාමය’

රට තුළ මෙවැනි තත්වයක් හෝ පවතින්නේ කිතුණු බැතිමතුන්ට නායකත්වය දෙන මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ සිදුවීමේ තිබෙන ගැඹුර, ජාත්‍යන්තර සබඳතා අවබෝධ කර ගනිමින් සතුරාට උවමනා දේ සිදු වීමට ඉඩ නොතිබීම නිසයි. එසේ නොවුණානම් මීගමුවේ කිතුණු ධීවරයින්ගේ මන්නාවලට පණ එන්න ඉඩ තිබුණා. අපි ඒ සම්බන්ධයෙන් අගරදගුරුතුමන්ට අපගේ ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටිනවා. එසේ මීගමුවේ කිතුණු ධීවරයින්ගේ මන්නවලට පණ ආවා නම් ලේ වැගිරීමක් සිදු වන්නේ නැද්ද? එය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී අවසානයේ සතුරාට අවශ්‍ය හදිසි තත්වය නිර්මාණය වෙන්නේ නැද්ද? ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් සිවිල් ජනතාවට ආරක්‍ෂාව ලබා දීමට අසමත් කියන වාර්තා ලොව පුරා යන්නේ නැද්ද? පාප් වහන්සේට වුවත් ‘ශ්‍රී ලංකාවේ කිතුණුවන් අනාරක්‍ෂිතයි. ඔවුන්ට ආරක්‍ෂාව සලසන්න’ කියා බලවත් රටවලින් ඉල්ලන්න වෙන්නේ නැද්ද? එවිට හදිසි තත්වය යටතේ ආරාධනාවකින් තොරවම ඇමෙරිකා එක්සත් ජනපද 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය ශ්‍රී ලංකාවට ඒම සිදුවේවි. එවිට ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට නොහැකි ආකාරයට අපි රටක් ලෙස අසරණ වී හිඳීවි. දැනට මේ තත්වය වැළකී ඇතත් එවැන්නක් ඇති වීමේ අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැහැ.

‘අභියෝගය ජයගත යුත්තේ ප්‍රඥාවන්තවයි’

භික්ෂූ වේශයෙන් පැමිණ හෝ සුදු ඇඳුමින් සැරසී පැමිණ වෙසක් කලාප තුළ මහා විනාශයක් සිදු කිරීමේ උත්සාහයන් ගැන කියැවෙනවා. සිවුරු, සුදු ඇඳුම් හමු වෙනවා. එවැනි සංවේදී තත්වයකදී මෙතෙක් ප්‍රඥාවන්තව කටයුතු කළ ජනතාව ආවේගශිලී විය හැකියි. එවිට ශ්‍රී ලංකාව තුළ ඇති වන හදිසි තත්වය, ආපදා තත්වය දෙස ඇමෙරිකාව බලා සිටිනවා. ඒ නිසා මේ අභියෝගය ජයගත හැක්කේ ආවේගශලීව නොවෙයි ප්‍රඥාවන්තව බව අවධාරණය කිරීමට කැමතියි.

‘ළඟ එන තුන්වන ගිවිසුම’

දැන් මිලිටරිමය මැදිහත්වීමකට ඉහත කී ගිවිසුම් දෙක හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඇමරිකා එක්සත් ජනපදයට හැකියාව ලැබී තිබෙනවා. මා පැවසුවා තවත් ගිවිසුමක් ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වන බව. එය අමෙරිකානු රාජ්‍ය ආයතනයක් වන ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ (MCC) සමඟ වන ගිවිසුමක්. මේ ගිවිසුම අනුව ශ්‍රී ලංකාවට සිදු වෙනවා තමන්ගේ ඉඩම් වෙළෙඳපොළ සක්‍රීය කිරීමට. ඒ සඳහා ඉඩම් පනත් දෙකක් දැනටමත් මේ ආණ්ඩුව විසින් සකස් කරමින් සිටිනවා. එකක් රාජ්‍ය ඉඩම් බැංකු පනත. එමගින් රාජ්‍ය ආයතන සතු සියලු ඉඩම් පවරා ගැනෙන රාජ්‍ය ඉඩම් බැංකුවක් හැදෙනවා. විදේශ සමාගම්වලට, අදාළ ඉඩම් හිමි රාජ්‍ය ආයතනය අයත් අමාත්‍යවරයාගේ කැමැත්ත පරිදි ඉඩම් ලබාගත හැකි ප්‍රතිපාදන මේ පනතට අයත්. ඒ වගේම ඉඩම් (විශේෂ විධිවිධාන) පනතක් ද සැකසෙනවා. එමගින් තනි පුද්ගල ඉඩම් අයිතිය පිළිබඳ අක්කර 50 සීමාව ඉවත් වෙනවා. ඒ වගේම බලපත්‍රලාභී ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා දීමත් මේ යටතේ සිදු වෙනවා. ඒ අනුව මේ පනත් දෙක මගින් මෙරට ඉඩම් වෙළඳපොළින් විදේශ සමාගම්වලට අක්කර දහස් ගණනින් ඉඩම් මිලදී ගැනීමට ඉඩ සැලසෙනවා.

‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’

කෙසේ නමුත් මේ ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් තැබීමට නියමිත ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අනුව ඉඩම් වෙළෙඳපොළ කල් තියා සක්‍රීය කරන්නේ ඒ යටතේ ඉදි කෙරෙන ‘විශේෂ ආර්ථික කොරිඩෝවට’ ඉඩම් අක්කර ලක්ෂ 12ක් ලබා ගැනීමට අවශ්‍ය ඉඩකඩ ද නිර්මාණය වන ලෙසයි. මේ ගිවිසුම අනුව කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දිස්ත්‍රික්ක 07ක් පුරා දිවෙන, ඉඩම් අක්කර ලක්ෂ 12ක් අයත් වන ඉහත කී විශේෂ ආර්ථික කොරිඩෝව තුළ ක්‍රියාත්මක වන්නේ ඇමරිකා එක්සත් ජනපද නීතියයි. මේ හරහා විදුලි දුම්රිය කේබලයක් ද දිවෙන නිසා අපේ රට භෞතිකව වෙන්වීමක් ද සිදු වේවි. මෙය ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට මැදිහත්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය රැගෙන එන ගිවිසුමයි.

‘ප්‍රති – ත්‍රස්ත පනත’

30 වසරක එල්ටීටීඊ ත්‍රස්තවාදය පරදවා ජය ලැබීමට මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රමාණවත් වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවට ප්‍රති – ත්‍රස්ත පනතක් ගෙන ඒමට හදනවා. එමගින් ත්‍රස්තවාදියාට සහන රැසක් ලැබෙනවා. ත්‍රස්තවාදියකු අත්අඩංගුවට ගත් පසු ඒ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දැනුම් දිය යුතුයි. ඒ වගේම ඔහුගේ ළඟම ඥාතියකුට ද දැනුම්දිය යුතුයි. මිනීමැරුමකට වරදකරුවකු වූවකුට මරණ දඬුවම හිමි වුවත් මිනිසුන් විශාල සංඛ්‍යාවක් මරා දාපු ත්‍රස්තවාදියකුට මේ ප්‍රති – ත්‍රස්ත පනත අනුව හිමි වන්නේ මරණ දඬුවම නොවෙයි, සිර දඬුවම පමණයි. එහෙමනම් මේ ප්‍රති – ත්‍රස්ත පනත ගෙන එන්නේ කවුරුන් මර්දනයට ද ? මූලිකවම ඉහත ඇමෙරිකානු විශේෂ ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12ක් අත්පත් කර ගැනීමේදී ඇති වන මහජන විරෝධතා මැඬලීමට. ඒ වගේම සිසු – කම්කරු උද්ඝෝෂණ මැඬලීමට, වැඩ වර්ජන නතර කිරීමට. එනම් ප්‍රති -ත්‍රස්ත පනතින් මහජනයා මර්දනය කරලා ත්‍රස්තවාදියාට සහන දෙනවා. මේ සියල්ල අතර වන අන්තර්සබඳතාව අප වටහා ගත යුතුයි.

‘ඇමෙරිකානු හාම්පුතාට අවශ්‍ය සේවකයා’

දැන් බලන්න, මෙතෙක් පෞද්ගලික අංශයේ සේවකයන්ට බලපෑ සියලු කම්කරු නීති අහෝසි කරලා, ඔවුන්ට අදාළ නව පනතක් ගෙන ඒමට මේ ආණ්ඩුව සැරසෙනවා. පෝය නිවාඩුව හැර සෙසු නිවාඩු අහෝසි වන, පැය 08ක වැඩමුරය පැය 12 දක්වා දීර්ඝ කරන, බෝනස් හිමිකම් හාම්පුතුන්ගේ කැමැත්ත අනුව ලැබෙන ප්‍රතිපාදන ඇතුළත් පනතක් තමයි කෙටුම්පත් වෙමින් ඇත්තේ. ‘මේ විදියේ නීති හදන්න කීවේ ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන වැනි දේශීය ව්‍යවසායකයන් ද? නැතිනම් මේ නව කම්කරු පනත ගෙන එන්නේ ඇමෙරිකානු විශේෂ ආර්ථික කොරිඩෝවේ ඉදිවන කර්මාන්තශාලාවල සේවය කිරීමට සිදු වන මෙරට අහිංසක සේවකයාට ද ?’ කියා ඔබම සිතා බලන්න. මේ සම්පූර්ණ පින්තූරය දෙස බලන්න. මුලින් මිලිටරිමය මැදිහත්වීමකට පාර කපා ගෙන දැන් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ගිල ගැනීමට නොවෙයි ද මේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම ගෙන එන්නේ ?

එසේම මේ වන විට ‘සුබානා ජුරොන්ග්’ නැමැති සිංගප්පූරු සමාගම ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක ආයෝජන කලාපයක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘති වාර්තාව අගමැතිවරයාට භාර දී අවසන්. එම ආයෝජන කලාපය තුළ ආයෝජනය කළ හැක්කේ ඇමෙරිකානු, ජපන් හා ඉන්දියානු සමාගම්වලට පමණයි. චීනය ඇතුළු වෙනත් රටවල ආයෝජකයන්ට එයට පැමිණීමට බැහැ. මේ ආයෝජන කලාපය තුළ තමයි, ත්‍රිකුණාමල වරාය අසල නවතා තිබෙන ඉහත කී ජෝන් සී. ස්ටෙනින්ස් යුද නෞකාවට අදාළ සේවා සැපයුම් මධ්‍යස්ථානය ඉදි කිරීමට නියමිතව ඇත්තේ. ඔබට පැහැදිලි ඇති මේ සියල්ල එකට බැඳී ඇති ආකාරය.

‘අයිඑස්අයිඑස් – අල්කයිඩා – තලේබාන්’

අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් පමණක් නොවෙයි අල්කයිඩා, තලේබාන් වැනි ත්‍රස්තවාදී සංවිධානත් නිර්මාණය කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද ඔත්තු සේවාව වන ‘සීඅයිඒ’ බව අනාවරණය වී අවසන්. මේ පිළිබඳ කරුණු තහවුරු කරන ගවේෂණාත්මක ලිපි ලේඛන රැසක් අන්තර්ජාලයේ තිබෙනවා. සවුදි අරාබිය තම රාජ්‍ය ආගම ලෙස පිළිගන්නේ වහාබ්වාදයයි. ඒ රටේ අයිඑස්අයිඑස් මරාගෙන මැරෙන බෝම්බ පිපිරෙන්නේ නැහැ. සවුදි අරාබිය තමන්ගේ අධික ධනය ලොව පුරා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම පිණිස යොදා ගන්නා බව රහසක් නොවෙයි. ඇමෙරිකාවට බොහෝ රටවල යුද කඳවුරු තිබුණත් ඉන්දු සාගර කලාපයේ දියාගෝ ගාර්සියා හැර වෙනත් කඳවුරක් නැහැ. එය ප්‍රමාණවත් නැති නිසයි මේ ශ්‍රී ලංකාව තුළ කඳවුරක් අටවාගන්න හදන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදය යම් රටක් අඩපණ කළොත් අසරණ කළොත් තමයි එතැනට අයිඑස්අයිඑස් බහින්නේ. අයිඑස්අයිඑස් එකටත් නිකම්ම රටකට බහින්න බැහැ. ඒකට වහාබ් අන්තවාදයෙන් ඔළු නරක්කර ගත් පිරිසක් ඒ රට තුළ ඉන්න ඕනේ. වසර හතරහමාරක් තිස්සේ වහාබ්වාදී අන්තවාදය පැතිරිලා, ඊබ්‍රාහිම්ගේ පුත්තු වැනි පිරිසක් මරාගෙන මැරෙන තත්වයට පත්ව සිටි නිසයි අයිඑස්අයිඑස් ත්‍රස්තයන්ට තම උවමනාව ඔවුන් ලවා ඉටුකර ගත හැකි වූයේ.

‘සිංහල ජන සමාජයට තඩිබාන්නේ කවුද ?’

වහාබ් අන්තවාදය මේ රටේ රිසි සේ වැඩෙන බව ගිහි පැවිදි ජනනායකයන් දිගින් දිගටම පෙන්වා දුන්නා. එසේ පෙන්වා දුන් පිරිස් අන්තවාදීන් ලෙස හඳුන්වා දුන් මේ ආණ්ඩුව ඇත්ත අන්තවාදියාට වැඩෙන්න දුන්නා. දැනටත් රාජ්‍ය මාධ්‍ය තඩිබාන්නේ ‘සිංහල අන්තවාදයේ මුවහමට’. සිංහල අන්තවාදයක් මේ රටේ භෞතිකව, නියමානුකූලව තිබුණා නම් මේ සිදුවීමෙන් පසුව ඒ අන්තවාදයට පණ එන්න ඕන. එක සිංහල මිනිසෙක් කටක් ඇරලා කිව්වේ නැහැ ‘ගහපන් අනෙකාට. වේදනාව පිට කරපන් මුස්ලිම් මිනිහාගේ හිස මතින්’ කියා. අන්තවාදයක් තිබුණා නම් කියන්නේ එහෙමයි. මෙහිදී සියලුදෙනා බැලුවේ මේ තත්ත්වයට ප්‍රඥාවන්තව මුහුණ දෙන්න. නමුත් අදත් නිර්මාල් රංජිත් දේවසිරිලා වැනි බක පණ්ඩිතයන් ආණ්ඩුවේ නාලිකාවලට රිංගාගෙන පැය 24ම තඩිබාන්නේ මේ රටේ සිංහල ජන සමාජයටයි. ‘අනේ අපොයි’ කියා දැනෙන වේදනාව දරාගෙන උපේක්ෂා සහගතව මේ ප්‍රශ්නයට ප්‍රඥාවන්තව මුහුණ දෙන සිංහල ජන සමාජය නැමැති මුවහමටයි අදත් රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් කාක්කන් ටිකත් එකතු වී තඩිබාන්නේ. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදියාවත් කියන්නේ නැහැ ‘ඊබ්‍රාහිම්ගේ පුතාලා දෙන්නා මරාගෙන මැරුනේ සිංහල අන්තවාදය නිසයි’ කියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එහෙම කියනවා.

‘රනිල්ට අනුර දුන් තෑග්ග’

ආපදා අධිරාජ්‍යවාදයේදී සිදු වන්නේ ආපදාවක් ඇති කොට අදාළ රටට ඇතුළුවීමට ඉඩ හදා ගැනීමයි. මෙහිදී රට අහිමි වන්නේ සිංහල මිනිසාට පමණක් නොවෙයි මුස්ලිම්, දෙමළ මිනිසාටත් මේ රට අහිමි වෙනවා. අපේ රාජ්‍යය අපට අහිමි වෙද්දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇමරිකා එක්සත් ජනපදයට මේ රටට රිංගීමට ඉඩකඩ නිර්මාණය කර දීමේ සතුට භුක්ති විදිමින් සිටිනවා. අනුර කුමාර දිසානායක ‘සහෝදරයා’ සිරස රූපවාහිනියට ගිහින් කියනවා ‘මේ තත්ත්වය සමනය කරන තුරු මැතිවරණ පැවැත්වීමට බැහැ’ කියා. එවිට නිවේදකයා අහනවා ‘මේ තත්ත්වය සමනය කිරීමට කොපමණ කල් යයි ද?’ කියා. එවිට අනුර කියනවා, ‘ඒක කියන්න බැහැ තත්ත්වය සමනය වනතුරු මැතිවරණ පැවැත්වීමට බැහැ’ කියා. ඒ තමයි අනුර දිසානායක මිතුරා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මේ සිදු වීමෙන් අනතුරුව අරන් දෙන තෑග්ග.

‘ප්‍රකම්පනකාරී තත්වයේ ප්‍රතිඵල’

දැන් අපේ ජන සමාජය ප්‍රකම්පනකාරී තත්වයකට පත්වෙලයි ඉන්නේ. යම් ජන සමාජයක් තුළ ප්‍රකම්පනකාරී තත්වයක් හැදුවාම ඒ සමාජය සාමාන්‍ය තත්වයක් යටතේ කිසිසේත්ම එකඟ නොවන දේවල් සියල්ලටම එකඟ වෙනවා. ‘වෙසක් කලාප එපා!’ කීවාම ඒක බාර ගන්නවා. ‘දේව මෙහෙයන් නිවෙස් තුළට වී සිදු කරන්න!’ කීවාම ඒකත් බාර ගන්නවා. ‘ඡන්ද එපා!’ කීවාම නිහඬව ඒකත් බාර ගන්නවා. මේ ‘ෂොක් ටී්‍රට්මන්ට්’ එකේ ප්‍රතිඵල තවම අවසන් වී නැහැ. එහෙම තිබියදී මේ රටේ තකතීරු අධ්‍යාපන ඇමති පාසල් අරිනවා. අපේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා මේ තත්ත්වය යටතේ පාසල් සිසුන් මොනතරම් අනාරක්ෂිත ද, කියා මාධ්‍ය හමුවක් තියා පෙන්වා දුන් පසුවයි 1 – 5 ශ්‍රේණි සිසුන්ට තවදුරටත් නිවාඩු දුන්නේ. 6 ශ්‍රේණියේ සිට ඉහළ පංතිවල සිසුන්ට දුවලා බේරෙන්න හැකි හින්ද ද, පාසල් එන්න කීවේ. පාසලකට එක් පොලිස් නිලධාරීයකු පමණක් ආරක්ෂාවට යොදවා ලැබෙන ප්‍රතිඵලය කුමක් ද?

‘ඊළඟ උගුල : භාරකාර ආණ්ඩුව’

මෙහි අතුරු ප්‍රතිලාභ තියෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහටයි. ඡන්ද නොතියන වාතාවරණය හැදුවොත් ඊළඟට කරන්නේ කුමක් ද? ‘භාරකාර ආණ්ඩුවක් හදමු’ කියා යෝජනා කරාවි. ‘ජාතික ආපදාවක දී ඡන්ද ගැන නොසිතා දේශපාලන වාදභේද අතහැරලා ජාතික ආණ්ඩුවක් හදමු’ කියා අපටත් මෙයාලා ඇරයුම් කරාවි. ඒක තමයි අටවන ඊළඟ උගුල. මේ මුළු පින්තූරය හොඳින් වටහාගතහොත් පමණයි අපට මේ අභියෝගය ජයගගත හැක්කේ.

‘වහාබ්වාදී අන්තවාදයේ පියවරු’

පල්ලිවල තියෙන කඩු, කිනිසි, නිවෙස්වල තිබෙන ඩෙටනේටර්, පුපුරන ද්‍රව්‍ය, සිවුරු, සුදු ඇඳුම් අල්ලමින් ගිහිල්ලා පමණක් මේ අන්තවාදය පරදවන්න බැහැ. තමන්ගේ ඡන්ද පදනම රැක ගැනීමට රිෂාඞ් බදූර්දීන්ලා, හිස්බුල්ලලා හුරතල් කරමින් මේ අන්තවාදය පරදවන්න බැහැ. වහාබ් අන්තවාදයට තුඩු දෙන සියලු ක්‍රියාකාරකම් නතර කළ යුතුයි. එදා දෙමළ බෙදුම්වාදයේ මතවාදී පියවරු වූයේ චෙල්වනායගම්ලා. අද මේ වහාබ් අන්තවාදයේ මතවාදී පියවරු කවුද ? රිෂාඞ් බදූර්දීන්, හිස්බුල්ලා, අසාත් සාලි, මුජිබර් රහුමාන් වැන්නන් නොවෙයි ද? මේ අය හුරතල් කරමින් වහාබ් අන්තවාදය පැරදවීමට බැහැ. මුස්ලිම් තරුණයාගේ ඔළු හෝදන අරාබි පාසල්, මද්‍රසා පාසල් මෙන්ම ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ද නිසි පියවර, තීන්දු ගත යුතුයි. වහාබ් අන්තවාදය නිසා මේ සමස්ත ලාංකීය සමාජයම අද ප්‍රකම්පනයට පත් වී අවසන්. එනිසා එම අන්තවාදයේ අක්මුල් සොයා යා යුතුයි. ව්‍යාප්ත වීම නතර කළ යුතුයි. මේ නිර්දය ඇත්තට අපි මුහුණ දිය යුතුයි. වාදභේද දුරලා අපි ජාතියක් ලෙස සමගිසම්පන්න විය යුතුයි. නිවැරදි ආගමික, දේශපාලන නායකත්වයක් යටතේ රට ඉදිරියට ගෙන යන්න ඕනෙ. එහෙම නොවුණොත් සතුරා බලාපොරොත්තු වන ආපදා තත්වය තවදුරටත් තීව්‍ර වීමට පුළුවන්.

‘වගකීම් විරහිත නායක ජෝඩුව’

ජාතියක් ලෙස අපි තියුණුම අභියෝගයකටයි මුහුණ දී සිටින්නේ. එය සරලව ගත යුතු නැහැ. මේ ආපදා තත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් දොර ඇරෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවන්ටයි. එහි 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලකායටයි. එතැනටයි මේ රට ඇදගෙන යමින් තිබෙන්නේ. මියගිය වහාබ්වාදියා නොදන්න කතාව මේකයි. ඔහු පාර කැපුවේ වෙන කාටවත් නොවෙයි, ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවටයි. ශ්‍රී ලංකාවේ දැන් සිටින ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය, සිරියාව, ඇෆ්ගනිස්ථානය, ටියුනීසියාව, යේමනය වැනි තලේබාන්, අල්කයිඩා, අයිඑස්අයිඑස් වැනි කවර හෝ ත්‍රස්ත සංවිධාන ක්‍රියාත්මක වූ රටවල ද තානාපතිවරිය ලෙස කටයුතු කළ තැනැත්තියක්. මේ සියලු රාජ්‍යයන් අසමත් රාජ්‍යයන් බවට පත් වූ බව ඔබ දන්නවා. එතැනට අපේ රටත් ඇද දැමීමට හැකියාව ඇති, අත්දැකීම් බහුල තැනැත්තියක් මෙරට ඇමෙරිකානු තානාපතිනිය වීම අහම්බයක් නොවෙයි. අපි අද ඉන්නේ අපේ ජාතියේ සදාකාලික පැවැත්ම හෝ අවසානය සනිටුහන් වන තැනකයි. සියවස් ගණනාවක් රැකගත් රාජ්‍යය සහ එහි ඓතිහාසික වටිනාකම්, එහි ශිෂ්ටාචාර ලකුණ, එහි මුදුන් මුල ගැලවෙන්න ඉඩ දෙනවාද, නැද්ද කියන තීරණාත්මක සන්ධිස්ථානයට අපි අද ඇවිත් සිටිනවා. ඒ නිසා අපි ජාතියක් ලෙස සමගිසම්පන්නව කටයුතු කර මේ තීරණාමක කඩඉම පැනනොගත්තොත් මේ තමයි අපි මුහුණ දෙන අවසාන අනතුර. ඉන් පසුව අප මුහුණ දෙන සියල්ල අනතුරු නොවෙයි සාමාන්‍ය දේවල් වෙනවා. මේ නිවට පාලකයන් අපට කියනවා, ‘බෝම්බකරුවන් සමඟ ජීවත් වෙන්න පුරුදු වෙන්න’ කියා. අපි ඒකට පුරුදු වෙනවා. ක්‍රමයෙන් අපට අපේ රාජ්‍යය අහිමි වෙනවා. එතැනට යන්නට පෙර මේ තුට්ටු දෙකේ පාලනය වෙනුවට, රටම ඉල්ලා සිටින යුග මෙහෙවරට උර දෙන්න පුළුවන් පරිවර්තනයක් සිදු කළ යුතුව තිබෙනවා. මේ වගකීම් විරහිත නායක ජෝඩුවට කවර තත්වයක් යටතේවත් මේ අන්තරායෙන් මේ මව් පොළොව බේරා ගැනීමට බැහැ. ඒ පිළිබඳව අංශූමාත්‍රයක හෝ බලාපොරොත්තුවක් තබා ගන්න එපා.

‘දැන දැනම වැනසෙනවා ද?’

ඒ නිසා අපට තිබෙනවා මේ රට මෙතැනින් එළියට ගැනීමේ මහා වගකීම. එහිදී අංක එක වන්නේ සතුරා බලාපොරාත්තු වන ආපදා තත්වය ඇති වීමට ඉඩ නොතැබීමයි. ප්‍රබුද්ධ ජන සමාජයේ අනිවාර්ය වගකීම එයයි. මේ රට මහා මරාගැනිල්ලක තෝතැන්නක් බවට පත් වුවහොත් අපට මේ විපතින් ගැලවීමේ මාවත සොයා ගත නොහැකි වෙනවා. දැන දැනම වැනසුණු රටක් බවට අප පත් වෙනවා.

‘චීන – එක්සත් ජනපද දඩබිමක්…’

ෂැංග්‍රිලා හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බ දෙකක් පිපිරුනාට ඇතැම් තරු පහේ හෝටල් වටේ ගොස් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඉවත්ව ගොස් තිබුණා. මේ හෝටල්වල හිමිකාරීත්වය දෙස බැලුවාම ඒ සිදු වූ දෙය තේරුම් ගත හැකියි. මේ සියල්ල හොඳින් වටහා ගන්න. චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර බල පොරයේ දඩබිම, ගොදුරුබිම බවට අද පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. චීනය ශ්‍රී ලංකාව අස්ථාවර කොට තමන් සතුකර ගැනීමේ න්‍යාය පත්‍රයක නැහැ. ශ්‍රී ලංකාව ස්ථාවරව තබා ගනිමින්, තම අභිමතාර්ථය ඉටුකර ගැනීමේ ප්‍රවේශයකයි චීනය සිටින්නේ. එක්සත් ජනපදයට තිබෙන්නේ ශ්‍රී ලංකාව අස්ථාවර කොට තම අභිමතාර්ථය අනුව පාලනය කිරීමේ න්‍යාය පත්‍රයක්. ලෝක දේශපාලන බල ක්‍රීඩාවේ ගැටුම්කාරී ගොදුරක් බවට තමයි අද ලක් මාතාව පත්ව තිබෙන්නේ. ඒ ගොදුරුභාවයෙන් ගැලවීමේ පාර සොයා ගැනීමට අපට නොහැකිනම් අපේ අනාගත පරපුරට රටක් ඉතිරි වන්නේ නැහැ.

දුටුගැමුණු, කිර්ති විජයබාහු වැනි ශ්‍රේෂ්ඨ නායකයන් යුගය විසින් ඉල්ලා සිටි නායකත්වය ලබා දී මේ මව් පොළොව සතුරාට හිමි වීමට නොදී රැක ගත්තා. ඒ නිසා අපි මේ දක්වා ආවා. ‘තවදුරටත් රටක් ලෙස ඉදිරියට යා හැකි ද?’ කියන තියුණු අභියෝගයටයි අප අද මුහුණ පා තිබෙන්නේ. ඒ නිසා ජාතිය මුහුණ පා තිබෙන අභියෝගය නිසි පරිදි වටහාගෙන එය ජයගත හැකි සටනට උවමනා ඇඳුම අඳින්න, අවිය අතට ගන්න. ඊට ගැලපෙන එකමුතුව හදන්න. අපි මේ තියුණු අභියෝගය ජය නොගතහොත් මළකඳන්, ලේ ගංගා හැර අපට සියල්ල අහිමිව යනවා. එතැනට ඇද වැටීමට නොදී කවර ආකාරයෙන් හෝ ගලවාගෙන මේ මව් පොළොවට, අපේ ඉතිහාසයට පණ දෙන්න උවමනා ධජය අපි අතට ගනිමු!

ඒ වෙනුවෙන් කැප වෙමු!
භීතියට යටත් නොවෙමු!
ඒ සඳහා ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/05/07

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*