BREAKING NEWS

බුදු වදන් නුවණින් විමසා කොරෝනා වසංගතය ජය ගැනුමට අදිටන් කර ගනිමු!

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන තවත් වෙසක් පුන් පොහෝ දිනයක් අදට (07) යෙදී තිබේ. ලොව පුරා බෞද්ධ ජනතාව මෙදින උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවේ දාන, ශීල, භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් දන්සැල් පැවැත්වීම, තොරණ ආදී වෙසක් සැරසිලි සිදු කිරීම, මල් පහන් පූජා ආදී ආමිස පූජාවෙහි ද යෙදමිනි.

එහෙත් මුළුමහත් ලෝකයම කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති හෙයින් ලොව පුරා බෞද්ධ ජනතාවට මෙන්ම බුදුන් තෙවරක් වැඩි, එසේම බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දළඳා මාළිගාව පිහිටි මෙපින් බිමෙහි වෙසෙන බෞද්ධ ජනතාවට ද මෙවර සම්බුදු තෙමඟුල උත්සවශ්‍රීයෙන් සැමරීමේ ඉඩකඩ ඇහිරී තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් අද ලොව පුරා ‘විසාලා නුවර’ වන් නගරයන් නිර්මාණය වෙමින් තිබේ.

එහෙයින් මේ මොහොතේ අපි මුහුණ දෙන බරපතලම අභියෝගය කොරෝනා වසංගතයෙන් මේ පින්බිම ඇතුළු මුළුමහත් ලෝකයම බේරා ගැනීම ය. එහි දී අපට බුදු වදන් නුවණින් විමසා බැලීමට සිදු වේ.
කොරෝනා වසංගතයට පෙර සමයේ නිර්මාණය වී තිබූ තරගකාරී, පරිසර හිතකාමී නොවන, අධිපාරිභෝජනවාදී ජීවන රටාවෙන් ලෝකවාසීන් ඉවත් වීමේ වැදගත්කම මේ මොහොතේ අපට අවධාරණය කර තිබේ. බෞද්ධ ප්‍රතිපදාව වන්නේ කාමසුඛල්ලිකානුයෝගයෙන් ඈත්ව අල්පේච්ඡ දිවි පැවැත්මකට හුරුවීම ය. මෙහි දී “ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං” යන බුදුවදන අනුව යෑම කොතරම් අගනේද යන්න මුළුමහත් ලෝකයටම පෙන්වා දී තිබේ.

ඉහත බුදුවදන් නුවණින් විමසා බලමින් කොරෝනා වසංගතයෙන් ජය ගැනුමටත් ඉන්පසු එළඹෙන යුගය, බුදු වදන් යනුව යමින් ලබන අවබෝධය මත නිර්මාණය කිරීමටත් චින්තනය මෙහෙය වීමට අදිටන් කරගන්නා ලෙස සියලු බෞද්ධ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම), නායක,
ජාතික නිදහස් පෙරමුණ,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය,
2020.05.07

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*