BREAKING NEWS

“විදේශ සංචිත පිළිබඳ ගැටළුවට එකම විසඳුම ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සහ විදේශ වෙළෙඳපොළ ජය ගත හැකි කර්මාන්තකරුවන් මේ භූමිය මත නිර්මාණය කිරීමයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මේ වනවිට උද්ගතව ඇති විදේශ සංචිත පිළිබඳ ගැටළුවට විසඳුම් සෙවීමේ හැකියාව ඇත්තේ මෙරට කර්මාන්තකරුවාට බව පෙන්වා දෙන කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා, එම ගැටළුවට ඇති එකම විසඳුම ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සහ විදේශ වෙළඳපොළ ජය ගත හැකි කර්මාන්තකරුවන් මේ භූමිය මත නිර්මාණය කිරීම යැයි පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ අද(06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති ‘දිනන රට පුබුදන කර්මාන්ත’ වැඩසටහන යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්යාංශය සතු කර්මාන්තපුරයන්හි ඉඩම් ප්රදානය කිරීමේ උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

“2022 වසර සුබ නව වසරක් වීමට නම් අපේ රටේ මිනිස්සු මේ විදිහට වැඩිවැඩියෙන් නව කර්මාන්ත අරඹන වසරක් විය යුතුයි. නව කර්මාන්තකරුවෙකු ලෙස ඔබ තමන්ට හිමි ඉඩමට අදාළ හිමිකම් සහතිකය ලබා ගැනීමට වේදිකාවට එන විට අප සියලුදෙනා අත්පොළසන් දෙනු ලැබූයේ වෙන කිසි හේතුවක් නිසා නොවෙයි, ‘රැකියා සොයා එන්නවුන් අතර රැකියා උපද්දවන්නවුන්’ලෙස අප ඔබව තේරුම්ගෙන ඇති නිසයි. අද මේ රටට අවශ්ය වන්නේ රැකියා සොයා එන්නවුන් නොවෙයි, රැකියා උත්පාදනය කිරීමට හැකි අය. එහෙම වුණොත් විතරයි අපි අද රටක් විදිහට මුහුණ දී සිටින ආර්ථික, සමාජීය අභියෝගවලට උත්තර සොයන්න පුළුවන් වන්නේ.

‘වැඩිම කර්මාන්තකරුවන් පිරිසක් බිහි කළ වසර’

කර්මාන්ත අමාත්යංශය සතු කර්මාන්තපුරවලින් කර්මාන්තකරුවන් සඳහා වැඩිම ඉඩම් කොටස් ප්රමාණයක් ලබාදුන් වසර, 2021 වසර බව මීට ඉහත දී ප්රකාශ කෙරුණා. එසේ වීමට ප්රධාන හේතුව ලෙස අප හිතන්නේ, අමාත්යවරයා ලෙස අප විසින් අදාළ නිලධාරීන්ට අනවශ්ය බලපෑම් නොකිරීම සහ අදාළ නිලධාරීන් ඉතා උනන්දුවෙන් තමන්ට ලැබුණු ඉල්ලුම්පත්ර අනුව සුදුස්සන් තෝරා නිර්දේශ කොට එවීම කාර්යක්ෂමව සිදු කිරීමයි. ඒ අනුව ඉදිරියට යමින් 2022 වසරේ දී, කර්මාන්තපුරයන්හි ඉඩම් ඉල්ලා ඇති පිරිසට පමණක් නොවෙයි තවත් විශාල ආයෝජකයන් පිරිසකට නව කර්මාන්ත ඇරඹීම සඳහා ඉඩම් ලබාදීමට අපට අවස්ථාව උදා වී තිබෙනවා. විශේෂයෙන් මෙවර අය වැයෙන් නව කර්මාන්තපුරයන් ඇරඹීම සඳහා ලබාදී ඇති රුපියල් මිලියන 5000ක මුදල ද ඉතා කාර්යක්ෂමව යොදා ගනිමින් අපට මෙම වසරේ දී පෙර නොවූ විරූ ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වේවි.

‘සමස්ත ආයෝජනය මිලියන 5330ක්’

පවතින කර්මාන්තපුරවලින් අක්කර 39කට ආසන්න ඉඩම් ප්රමාණයක් අප ඔබ වෙත ලබා දී තිබෙනවා. ආයෝජකයන් ලෙස ඔබ මෙහිදී සිදු කරනු ලබන සමස්ත ආයෝජනය රුපියල් මිලියන 5330කට අධිකයි. රුපියල් මිලියන 5330ක් ඔබ ආයෝජනය කළ විට එය මේ සමාජයේ විවිධ කොටස් වෙත බෙදී යනවා. ඒ වගේම ඔබගේ ආයෝජනයන් මගින් ජනිත වන නව සෘජු රැකියා ප්රමාණය 3200කට වැඩියි. මේ විදිහට කටයුතු කිරීමෙන් තමයි රටක ආර්ථිකයක ඇත්ත සංවර්ධනයක් සිදු වන්නේ.

‘මුදල් අච්චු ගැහුවාට ප්රශ්නයක් නැද්ද?’

මට මතකයි, ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදින සමයේ ඔහුගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළ තැනැත්තෙකු, ඔහු වෙනුවෙන් අදහස් දක්වමින්, රූපවාහිනි නාලිකාවන් සමඟ පැවැති සංවාදයකදී පැවසුවා, ‘මුදල් අච්චු ගැහුවාට ප්රශ්නයක් නැහැ. ඒ මුදල් රටේ එදිනෙදා වියදම්වලට යෙදවීමයි අවුල. අච්චු ගහන මුදල් වුවත් කර්මාන්ත වැනි දේවල් සඳහා ආයෝජනය කළොත් එමගින් නැවත මුදල් උපද්දවන්න පුළුවන්.’ කියා. මුදල් අච්චු ගැසීම පිළිබඳව සාම්ප්රදායිකව ආර්ථික විද්යාවේ තිබෙන මතය වෙනස් කරමින් තමයි ඔහු එම අදහස් දැක්වූයේ.

‘කර්මාන්ත අමාත්යාංශයේ වගකීම’

අපේ රටේ ව්යවසායකයන්, කර්මාන්තකරුවන් වැඩියෙන් ආයෝජනය කළ හැකි පරිසරයක් වෙත රැගෙන යාම තමයි කර්මාන්ත අමාත්යාංශයේ අපගේ වගකීම. අපි මුළුමනින්ම ඉටු කරමින් සිටින්නේ එම වගකීමයි. කොවිඩ් වසංගත තත්වය යටතේ වුවත් අපේ අමාත්යාංශයේ සේවක පිරිස ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් කැප වුණා. අප අද රටක් විදිහට මුහුණ දී ඇති විදේශ සංචිත පිළිබඳ ගැටළුව ගත්තත් ඒ ගැටළුවට උත්තර සොයන්න පුළුවන්කම තිබෙන්නේ කර්මාන්තකරුවන් වන ඔබටයි. ඒ ගැටළුවට තාවකාලික උත්තර හොයන්න පුළුවන් කොහේ හරි රටකින් කීයක් හරි ඉල්ලාගෙන. හැබැයි ඒ ණය වාරිකය අප පසුපස හඹා ගෙන එනවා. තිබුණාට වඩා වැඩි ණය වාරිකයක් රටට ගෙවන්න සිදු වෙනවා. ඒ නිසා අපට තිබෙන එකම උත්තරය වන්නේ ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සහ විදේශ වෙළඳපොළ ජයගන්න පුළුවන් කර්මාන්තකරුවන් මේ භූමිය මත නිර්මාණය කිරීමයි.

පසුගිය අවුරුද්ද තුළ කර්මාන්ත අමාත්යවරයා ලෙස අප ගත්තු ඇතැම් තීරණ නිසා දේශීය කර්මාන්තකරුවාට වාසිදායක පරිසරයක් සකසා දෙන්න අපට පුළුවන්කම ලැබුණා. උදාහරණයක් ලෙස අබලි ලෝහ පිටරට පැටවීම අපි තහනම් කරනු ලැබුවා. ඒ හේතුවෙන් මේ රටේ වාත්තු කර්මාන්තය හෙවත් ලෝහ ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයට අවශ්ය අමුද්රව්ය ලැබෙන්න පටන් ගත්තා. එම කර්මාන්තය ඉතා ඉහළ අභිවෘද්ධියක් ලැබුවා. ඒ වගේම මේ රටේ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අත්යවශ්යව තිබූ සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ජනගත කළා. එමගින් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සැලකිය යුතු ප්රබෝධයක් ඇති වෙමින් තිබෙනවා.

‘වෙනත් මාවත බලගැන්වීම’

සාම්ප්රදායික විදියට සිතන අය බලන්නේ රාජ්ය සේවය ඇතුළට එන්න. (මට සමාවෙන්න, රාජ්ය සේවයේ ඉන්න සියලුම නිලධාරී මහත්ම මහත්මීන්) ඒක තමයි අපට හදලා දීලා තිබෙන මාර්ගය. ඒක වරදක් නොවෙයි, ඒක තමයි අපට සදානිමකර දී තිබෙන මාර්ගය. ‘විභාග සමත් වෙනවා, උපාධිය ගන්නවා, රාජ්ය සේවයට එනවා.’ ඔය මාර්ගයෙන් පිට පනින සුළු පිරිසක් ඉන්නවා. කර්මාන්තකරුවන් ලෙස මෙහි පැමිණ සිටින ඔබ ඒ සාම්ප්රදායික මාවත වෙනුවට වෙනත් මාවතකින් මේ රටට සේවය කරන්න සූදානම් වූ අය. ඒ වෙනත් මාවත තමයි අද වැඩිවැඩියෙන් බල ගන්වන්න ඕනේ. රාජ්ය සේවයේ ඉන්න අපේ වගකීමත් ඒ වෙනත් මාවත බල ගැන්වීමයි.

‘පුළුල් භූමිකාවක්’

ඔබ සිදු කරන ආයෝජනයෙන් රැකියා උත්පාදනය වෙනකොට රැකියා විරහිතභාවයට උත්තර ලැබෙනවා. එම ආයෝජනයන් සමාජයේ විවිධ කොටස් වෙත ගලාගෙන යන විට එම පිරිසගේ ආර්ථිකයත් බලගැන්වෙනවා. කර්මාන්තයක් ඇතිවෙනවා කියන්නේ බොහෝ විට ඒ වටා උප කර්මාන්තත් ඇතිවීමයි. කර්මාන්තයකින් සෘජු හා වක්ර ප්රතිලාභ ලබන පිරිස ඉතා ඉහළයි. ඒ නිසා තමයි අපි අදටත් වඩා පුළුල් භූමිකාවක් හෙට දිනයේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ.

ගෙවී ගිය මාස 10 ඇතුළත පමණක් කර්මාන්ත අමාත්යාංශය යටතේ තිබෙන කර්මාන්තපුරවල නව කර්මාන්ත 91ක් ආරම්භ කරන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. එම කර්මාන්ත 91හි සමස්ත ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 4000කට අධිකයි. උත්පාදනය වී ඇති සමස්ත ඍජු රැකියා ප්රමාණය 8000කට වැඩියි. අපි බලාපොරොත්තු වෙනවා, අද දිනයේ කර්මාන්තපුරයන්හි ඉඩම් කොටස් ලබා ගන්නා ඔබ, තම කර්මාන්ත ඇරැඹීමට යුහුසුළුව කැප වෙයි කියා. 2022 වසර තුළ ඔබ සියලුදෙනාගේ කර්මාන්ත සමඟින් මේ රටේ නව කර්මාන්ත සුවිශාල ප්රමාණයක් ආරම්භ කිරීමට අපට හැකියාව ලැබෙයි. කර්මාන්ත අමාත්යාංශය ඔබට අවශ්ය සේවය ඉතා ඉහළින් ලබාදීමට ඇපකැප වී සිටිනවා. අප ඒ වගකීම සහ යුතුකම බැරෑරුම් ලෙස භාරගෙන ඉටුකරන බව අවධාරණය කරමින්, ඔබගේ ආයෝජනයන් මගින් අපේක්ෂිත ජයග්රහණ ලබා ගැනීමට ධෛර්ය ශක්තිය පතනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය.
2022.01.06
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*