BREAKING NEWS

රාජ්‍යය සහ ජනතාව පොදු ජාතික න්‍යාය පත්‍රයකට ගෙන ඒමට රොද බඳිමු!

1815 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමිය ඉන් නාමිකව හෝ නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 04 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන්ගේ අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ නාමයෙනි. ‘ඩොමීනියන් නිදහස’ ලෙස හැඳින් වූ එම තත්ත්වය වෙනස් වූයේ පළමු ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹි 1972 මැයි 22 වැනි දා සිට ය. ඒ කෙසේ වෙතත් අද වන විට එකී නාමික නිදහස අප වෙත ලැබී වසර 72 කි.

1948 දී අප ලේ බිඳුවකුදු නෙහෙලා නිදහස ලැබූ බව ඇතැමුන් පැවසුවද සත්‍යය එය නොවේ. 1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලය හෙවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පැන නැගි ප්‍රථම නිදහස් අරගලයේදී වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමා ඇතුළු අපගේ වීර මුතුන්මිත්තන්ගේ රුධිරය ඒ තුළ තිබේ. එසේම 1848 පැන නැගී දෙවැනි නිදහස් අරගලයේ දී ද වීර පුරන්අප්පු වැනි වීර මුතුන්මිත්තන් දහස් ගණනින් දිවි පිදූහ. අප රටක්, ජාතියක් ලෙස සමරනු ලබන්නේ එවන් කුරිරුකම්, සැහැසිකම් මැද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙතින් ලද නිදහසක් බව අමතක නොකළ යුතුය.

මෙසේ බ්‍රිතාන්‍ය අධිරාජව්‍යවාදීන් වෙතින් නිදහස් කර ගත් අපගේ ජාතික රාජ්‍යය යළි අපෙන් උදුරා ගැනීමේ දිශාවට රැගෙන යාමේ අධිරාජ්‍යවාදී මෙහෙයුම් ගෙවී ගිය වසර 72 පුරාම ක්‍රියාත්මක වූ බව දැකගත හැකිය. 2015 ජනවාරි 08 වැනිදා ඇරඹී 2019 නොවැම්බර් 16 වැනිදායින් අවසන් වූයේ එවන් අධිරාජ්‍යවාදි මෙහෙයුමක ජයග්‍රාහී කාලසීමාවකි.

2019 නොවැම්බර් 16 වැනි දා ලැබූ ජනවරමේ ශක්තියත් සමඟ අපි යළිත් සැබෑ නිදහසක අරුණලු දකිමින් සිටින්නෙමු. ජාතියකට සැබෑ නිදහස අත්කර ගැනීමට නම් දේශපාලන, සමාජ, ආර්ථික යන සෑම සියලු ක්ෂේත්‍රයක් තුළ ම එය තහවුරු විය යුතුය. රාජ්‍ය පාලකයන් ජනතාවගේ අවශ්‍යතා වඩා හොඳින් වටහා ගනිමින් ක්‍රියා කිරීම ඒ් සැබෑ නිදහස සාක්ෂාත් කර ගැනීමට පාර කපයි.

රාජ්‍යය හා ජනතාව අතර තිබෙන ස්වාභාවික දුරස්ථ බව “නොවැම්බර් 16 වැනි දා ජනවරම” විසින් අවම කර තිබේ.‍ රාජ්‍යය සහ ජනතාව එකම ජාතික න්‍යාය පත්‍රයකට ගෙන ඒ්මට හැකි බවට පෙරනිමිති ද අපට පසුගිය දිනවල දැකගත හැකි විය. තරුණ පිරිස් රටපුරා විවිධ සිතුවම් එළිදක්වමින් පෙන්නුම් කළේ එවැනි ජාතික න්‍යාය පත්‍රයක් ගොඩනැගීමට තමන් අද පවතින විශ්වාසය හා ආස්වාදය ය. මේ වනවිට රාජ්‍යයත් – ජනතාවත් අතර අපූරු පාලමක් නිමවී තිබේ. එය සුවිශේෂී අවස්ථාවකි. 72 වැනි ජාතික නිදහස් දිනය එළඹෙන්නේ එවැනි වටපිටාවක ය. ඒ දිනය නිමිති කර ගෙන අප ලාංකේය ජාතිය ලෙස “රාජ්‍යය සහ ජනතාව පොදු ජාතික න්‍යාය පත්‍රයකට ගෙන ඒම” වෙනුවෙන් කැපවීමට අධිෂ්ඨානය කර ගත යුතුව තිබේ.

විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ,
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හා
ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
2020.02.04

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*