BREAKING NEWS

“චීනය, ශ්‍රී ලංකාවට සිටිනා ඉතාම අව්‍යාජ මිත්‍රයා ලෙස අප ඉහළින්ම පිළිගන්නේ සෑම සහයෝගීතාවකදීම කිසිදු දේශපාලන කොන්දේසියකට අප යටත් නොකරන නිසයි” – ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

චීනය, ශ්රී ලංකාවට සිටිනා ඉතාම අව්යාජ මිත්රයා ලෙස තමන් ඉහළින්ම පිළිගන්නේ සෑම සහයෝගීතාවකදීම කිසිදු දේශපාලන කොන්දේසියකට මෙරට යටත් නොකරන නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ(17) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ‘ශ්රී ලංකා – චීන රාජ්යතාන්ත්රික සබඳතාවේ 65 වැනි සැමරුම’ වෙනුවෙන් මෙරට සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන්, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ප්රධානත්වයෙන් පැවැති සැමරුම් උළෙලේදී ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් අදහස් දක්වමින් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“චීනය හා ශ්රී ලංකාව අතර රාජ්යතාන්ත්රික සබඳතා ඇරඹිලා වසර 65ක් සපිරෙන මේ වෙලාවේ, ඒ වගේම ශ්රී ලංකා චීන රබර් සහල් ගිවිසුමට වසර 70ක් සපිරෙන මේ වෙලාවේ, දෙරටේ මිත්රත්වය දැඩි අභිමානයෙන් සමරනු ලබන මේ වෙලාවේ වචන ස්වල්පයක් ඉදිරිපත් කිරීමට ලැබීම ඉතා වැදගත් දෙයක් ලෙසයි මා සලකන්නේ.

අපේ සංස්කෘතිය තුළ අපි ඉතා ඉහළින් ඇගයීමට පාත්ර කරන අපේ හදවත් තුළ ඉතා ගැඹුරින් සටහන් වී ඇති ප්රධානතම චරිතය අපේ අම්මායි. මව කියන චරිතයට අපේ සංස්කෘතිය තුළ තිබෙන බැඳීම, ස්ථානය ඉතා ප්රබල ස්ථානයක් බව මා අමුතුවෙන් ඔබට කිවයුතු නැහැ. ‘ගෙදර බුදුන් අම්මා, අම්මා බුදු වේවා !, බුදු අම්මෝ!’ කියා පවසන්නේ තාත්තාගේ නම මේ කිසි තැනක සඳහන් නොකර. වරුණ චන්ද්රකීර්ති මහතාගේ ‘පෙරදිගට ගමනක්’ යන කෘතිය කියැවීමේදී ඉතා වැදගත් තොරතුරක් මට දැනගැනීමට ලැබුණා. සංස්කෘතික ස්නායුවේදය නමැති විෂයක් තිබෙනවා. එම සංස්කෘතික ස්නායුවේදය විෂය හදාරන ලද ස්නායුවේද විශේෂඥයන් 04 දෙනෙක් 2007 වසරේ ඉතා වැදගත් පර්යේෂණයක් සිදු කරනවා. එම පර්යේෂණයෙන් ඔවුන් බැලුවේ, මිනිසුන් තමන් ගැන සිතන විට මොළයේ සක්රිය වන ප්රදේශයත් තමන්ගෙන් පිට අය ගැන සිතන විට සක්රිය වන ප්රදේශයත් එක හා සමාන ද, කියායි. මේ සඳහා ඉහත කී ස්නායුවේද විශේෂඥයින් හතරදෙනා යොදාගත්තා බටහිර රටවල හැදුණු වැඩුණු පිරිසක් සහ චීන ජාතිකයන් පිරිසක්. මෙම පර්යේෂණයේදී ඉතා වැදගත් කාරණයක් අනාවරණය වුණා. බටහිර හැදුණු වැඩුණු අයගෙන් තමන්ගේ මව ගැන සිතන්න කියන විට ඔවුන්ගේ ක්රියාකාරී වුණේ තමන් ගැන සිතන විට මොළයේ ක්රියාකාරී වූ කොටස නොවෙයි, අන්යයන් ගැ

න සිතන විට ක්රියාකාරී වන කොටසයි. නමුත් චීන ජාතිකයන්ට තමන්ගේ මව ගැන සිතන්න කියන විට ක්රියාකාරී වුණේ මොළයේ තමන් ගැන සිතන විට ක්රියාකාරී වන කොටසයි.

චීන ජාතිකයන් සහ අප අතර තිබෙන සංස්කෘතික මිත්රත්වයේ, බැඳීමේ, මානුෂීය සහසම්බන්ධයේ සමානකමේ ඉතා වැදගත් සාධකයක් මෙමගින් අපට වටහා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ අනුව පෙනෙනවා, අම්මා බටහිර සංස්කෘතිය තුළ පුතාට, දුවට පරිබාහිරයි, චීන සංස්කෘතිය තුළ අම්මා තමන්ගේ කොටසක්, පිටස්තරයෙක් නොවෙයි, කියා. මේ පර්යේෂණයට ශ්රී ලාංකිකයන් යොදාගෙන තිබුණත් අපි හොඳාකාරවම දන්නවා චීන ජාතිකයන් යොදාගෙන සිදු කළ පර්යේෂණයේදී ලැබුණු අත්දැකීමට වෙනස් අත්දැකීමක් ලැබෙන්නේ නැහැ, කියා.

‘ඓතිහාසිකව වර්ධනය වූ මිත්රත්වයක්’

මෙමඟින් පැහැදිලිව පෙනෙනවා, බටහිර රටවල ජීවත් වන අයගේ සංස්කෘතියත් ඒ අය ජීවිතය ගැන සිතන පතන විදිහත් ඒ අයගේ හර පද්ධතීන් කියන මේ සියල්ල අපට බොහෝ දුර බව. නමුත් චීනය වගේ අපේ පෙරදිග රටවල මිත්රයන්ගේ සංස්කෘතිය, සභ්යත්වය අපිට ඉතාම කිට්ටුයි. ශ්රී ලංකාව සහ චීන ජන සමාජ දෙක අතර මෙන්න මේ සංස්කෘතික බැඳීම, දෙරට අතර රාජ්යතාන්ත්රික සබඳතා ඇති වීමට ඉතා දිගු කාලයකට පෙර ඇති වූ බව මීට පෙර අදහස් දැක්වූ දේශපාලන පක්ෂ නායකයන් ද පෙන්වා දෙනු ලැබුවා. චීන ඉතිහාසයේ සඳහන් වන ඉතා වැදගත් කරුණක් තමයි චීනයට භික්ෂුණී ශාසනය හඳුන්වා දුන්නේ ක්රි.ව. 433දී ශ්රී ලංකාවෙන් වැඩම කළ සිතාරා මහා භික්ෂුණීන් වහන්සේ ඇතුළු දස නමක් විසින් බව. එය චීන බෞද්ධයන් අප සංඝමිත්තා ආගමනයට දෙන ස්ථානය දෙමින් සලකන්නක්. ඓතිහාසික වශයෙන් එකිනෙකා අතර ගැටුම් නැතිවුණාට, මරාගැනිලි නැතිවුණාට, එකිනෙකා විසින් එකිනෙකාව අත්පත් කර ගැනීමට හැදුවේ නැති වුණාට අප දෙපාර්ශ්වය අතර සංස්කෘතික බැඳීමක් සහ මිත්රත්වයක් ඓතිහාසිකව වර්ධනය වූ බව දැකගත හැකියි.

චීනයට උරුම ඓතිහාසික සංස්කෘතිය ඉතා බලවත් වූවක්. එය අවුරුදු දහස් ගණනක් වැඩී පෝෂණය වූවක්. ඒ වගේම චීන ජාතිකයන් ඒ ඓතිහාසික මහා සංස්කෘතියෙන් එළියට පනින්න අදහස් නොකර, එම මහා සංස්කෘතියම රැක බලා ගනිමින්, පෝෂණය කරමින් නවීන තත්වයට අනුව එය හැඩගස්වමින් ඉදිරියට යන ජාතියක්. බුදු දහම, කොන්පියුසියස් දහම වැනි තවත් දර්ශන වාද ගණනාවකින් පෝෂණය ලබපු, ඉතාම සාරගර්භ සංස්කෘතියක් තමයි චීනය සතු වන්නේ. මේ සාරගර්භ සංස්කෘතිය යටතේ වැඩුණු චීන ජාතියේ එම සංස්කෘතික පදනමත් රැකගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයට හැකිවුණා චීන සමාජවාදය ගොඩනගන්න. මම එය තේරුම් ගන්නේ ඉහත කී ඓතිහාසික සංස්කෘතියත් මාක්ස්වාදයත් අතර ඉතාම මැනවින් සිදු වූ දෙමුහුන්කරණයක් විදිහට.

‘හොඳම පිළිතුර චීනයෙන්’

මම මගේ දේශපාලන ජීවිතයේදී කෙනෙක්ගෙන් අහපු ප්රශ්නයකට හොඳම පිළිතුර ලැබුණේ චීනයේ සංචාරයක නිරතව සිටියදී අපට හමු වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභිකයෙකුගෙන්. ඒ අවස්ථාවේ අප විමසා සිටියා, ‘සෝවියට් සංගමය වැටෙන්නත් චීන මහජන සමූහාණ්ඩුව ආරක්ෂා වෙන්නත් හේතු වුණේ කුමක්ද? කියා. මම හිතුවේ ඔහු ඊට දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත පිළිතුරක් ලබා දෙයි, කියා. ඔහු පිළිතුරු ලබා දීමේදී අත් දෙක දෙපසට ඔසවා ගත්තා. ඔහු දීපු උත්තරය තමයි ‘සෝවියට් සංගමයත්, චීනයත් එම ජන සමාජයන් දෙක දැඩිව පාලනය කරමින් සිටියේ(අත්ල සිර කර ගනිමින්). මෙය යම්තාක් දුරකට ලිහිල් කිරීමේ අවශ්යතාවක් ඓතිහාසිකව නිර්මාණය වුණා. අපි මේ විදිහට ලිහිල් කළා(එක අතක අත්ල ඉහළට සිටින සේ ඇඟිලි ඈත් කරමින්), සෝවියට් සංගමය මේ ආකාරයට ලිහිල් කළා(අත්ල පහළට සිටින සේ ඇඟිලි ඈත් කරමින්)’යන්න. ඒ අනුව සෝවියට් සංගමයට අතේ තිබුණු දේ ගිලිහුණා. චීනයට අතේ තිබුණු දේ රැක ගැනීමට පුළුවන් වුණා. මෙන්න මේ හැකියාව, නිර්මාණශීලී බව, තියුණු විඥානය චීන කොමියුනිස්ට් පක්ෂයට මාක්ස්වාදයෙන් පමණක් ලැබුණු දෙයක් නොවෙයි. චීනය ඓතිහාසිකව ගොඩනගාගත්තු ඒ මහා සභ්යත්වය මත පදනම් වූ දෙමුහුන්කරණයෙන් ලැබුණු දෙයක්. ඒ නිසා චීන කොමියුනිස්ට් පක්ෂයට පුළුවන් වුණා දැඩි මධ්යගත සැලසුම් සහගත ආර්ථිකයක ඉඳලා ශක්තිමත් සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයකට මාරු වෙන්න. ලෝකයේ ඓතිහාසික වර්ධනයන් වෙනස් වන විට, මාක්ස්වාදය න්යාය පුස්තකයක් විදිහට පට්ට ගහන්නේ නැතිව, එය එදිනෙදා අභියෝගවලට මුහුණ දීමට පුළුවන් මෙවලමක් විදිහට යොදා ගනිමින්, ලෝකයට වෙළෙඳපොළ සමාජවාදය නමැති නවතම සංකල්පයක් ඉදිරිපත් කිරීමට සහ ඒ අනුව ක්රියා කිරීමට, චීන කොමියුනිස්ට් පක්ෂයට හැකි වුණා. චීනය, සංවෘත රටක සිට සියල්ල විවෘත කළ රටක් බවට පරිවර්තනය කිරීමට ඔවුනට පුළුවන්කම ලැබුණා.

චීනය සහ ශ්රී ලංකාව අතර සංස්කෘතික බැඳීම් මෙන්ම ආර්ථික හා දේශපාලන මිත්රත්වය ද ඉතා ප්රබල එකක්. සංස්කෘතික බැඳීම් පිළිබඳ තවත් එක් කරුණක් සඳහන් කිරීමට මා කැමතියි. චීනයේ එක්තරා පන්සලක තිබෙනවා, ශාසනාරක්ෂකයකු ලෙස අප සලකන කන්දේ දෙවියන්ගේ ප්රතිමාවක්. එකක් පැහැදිලි කරගත යුතුයි. බුදුදහම ලෝකයේ හැම තැනම පැළ වුණේ නැහැ. අපේ රට හැර, බුදු දහම තිරසාර ලෙස පැළ වුණානම් ඒ පැළ වුණු සෑම රටක්ම මොංගෝලියානු මිනිසුන් හෙවත් කහ මිනිසුන්ගෙන් සමන්විත රටවල්. කාම්බෝජය, මියන්මාරය ඇතුළු ථෙරවාදී හා මහායාන බෞද්ධ සම්ප්රදායයන් තිබෙන ඕනෑම රටක් ගත්තත් ඉහත කී කරුණ තහවුරු වෙනවා. මේ පිළිබඳව අපි වැඩිදුරටත් අධ්යයනය කළ යුතුව තිබෙනවා.

චීනයේ මිත්රත්වය නොලැබුණා නම්

තිස් වසරක යුද්ධයේ දී අපට විවිධ බාධක, සම්බාධක පැනවෙන විට චීනයේ මිත්රත්වය නොලැබුණානම් අපට අද මේ සාමකාමී වාතාවරණය භූක්ති විඳීමට හැකි වන්නේ නැහැ. ජාත්යන්තර ‘දඩබිම්වලදී’ ඔවුන් අපේ රට වෙනුවෙන් ඉටු කරන භූමිකාව නොවුණානම් අපට මීට වඩා බලවත් කොන්දේසිවලට යටත් වීමේ සම්භාවිතාවක් තිබුණා. අපි දන්නවා, අපේ රටේ විශාලතම විදෙස් ආයෝජනය සිදු කොට ඇත්තේ චීනය මිස වෙන රටක් නොවෙයි, කියා. ඒ කොළඹ වරාය නගරය ඉදිකිරීමට කළ ආයෝජනයයි. ඒ මහා නගරය ඉදිරියේදී අපේ රටට විදේශ විනිමය රැගෙන එන ප්රධාන උල්පතක් වේවි. අද විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම පිණිස වෙහෙසෙන මේ රටට තිබෙන එක මාවතක් තමයි කොළඹ වරාය නගරය. විදේශ ආයෝජකයන් හා සංචාරකයන් ඒ මගින් ප්රබල ලෙස ආකර්ෂණය කරගත හැකි වේවි.

දේශපාලන කොන්දේසි රහිත අව්යාජ මිතුදම

චීනය සැමවිටම අප සමඟ ආර්ථිකමය වශයෙන් සම්බන්ධතා පැවැත්වූයේ දේශපාලන කොන්දේසි පනවමින් නොවෙයි. ‘රට සන්ධීය විය යුතුයි, සහසන්ධීය විය යුතුයි,’ කියා ඉගැන්වීමට චීනය ආවේ නැහැ. ඔවුන්ගේ සෑම සහයෝගීතාවකදීම කිසිම දේශපාලන කොන්දේසියක් ඉදිරිපත් වූයේ නැහැ .ඒ නිසා තමයි අද ශ්රී ලංකාවට සිටින ඉතාමත් අව්යාජ මිතුරා හැටියට අපි චීනය ඉතා ඉහළින් පිළිගන්නේ. දෙරට අතර මිත්රත්වය දිගුකල් දිනේවා’යි ප්රාර්ථනය කරමින් මහා නිහඩ වෙනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්ය ලේකම්,

ජාතික නිදහස් පෙරමුණ,

2022-02-18

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*