BREAKING NEWS

දෙමළ ප්‍රභූ දේශපාලනඥයින්ගේ අන්තවාදී උවමනාවන් අලුත් පරම්පරාව දවසින් දවස ප්‍රතික්ෂේප කරනවා

දෙමළ ප්‍රභූ දේශපාලනඥයින්ගේ අන්තවාදී උවමනාවන් අලුත් පරම්පරාව දවසින් දවස ප්‍රතික්ෂේප කරනවා
– ජා.නි.පෙ. නායක, අමාත්‍ය විමල් වීරවංශ

සාමාන්‍ය දමිළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම වෙනුවට ඔවුන්ගේ සිත්වලට අන්තවාදය ඇතුළු කරන සම්බන්ධන් වැනි දෙමළ ප්‍රභූ දේශපාලනඥයින් තම සුඛ විහරණය වෙනුවෙන් සිදු කළ අවස්ථාවාදී දේශපාලනය උතුරේ දෙමළ ජනතාව, විශේෂයෙන් දමිළ තරුණ පරම්පරාව ක්‍රමක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරන බව දැකගත හැකි බව ජා.නි.පෙ. නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (15) වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ පැවති දේවාශිර්වාද පූජාවට සහභාගී වීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකය පුරා හින්දු බැතිමතුන් තෛපොංගල් දිනය සමරන්නේ හිරු දෙවිදුන්ට සිදුකරන ගරු කිරීමක් හැටියටයි. තෛපොංගල් දිනයෙන් නිරූපණය වන්නේ මිනිසා තුළ තිබෙන සොබාදහම පිළිබඳ කෘතවේදීත්වයයි.

අද ශ්‍රී ලංකාව තුළ ගැටුම්කාරී තත්වයන් පහව ගොස් තිබෙනවා. සිංහල – දෙමළ ජනතාව අතර අනවබෝධය නිසා ඇති වී තිබූ දුරස්ථභාවය අකාමකා දමන වාතාවරණයක් ඇති වී තිබෙනවා. තෛපොංගල් දිනය හා බැඳුණු සංස්කෘතිකාංග අපට එකිනෙකා තේරුම් ගනිමින් ජාතික සමඟිය වෙනුවෙන් යොදාගත හැකි අපූරු දිනයක් උදා කරනවා. ඒ නිසා තමයි අපි මේ දමිළ හින්දු ජනයාගේ තෛපොංගල් උත්සවයට සුබ පැතීම සඳහා එක් වූයේ.

සිංහල හා දෙමළ ජනතාව අතර සමඟියට ප්‍රධානතම බාධාවක් වී ඇත්තේ එම ජනතාව තුළ සිටින අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් බව පැහැදිලිව දැනගත හැකිය. ඒ අන්තවාදීන්ට අවශ්‍ය මේ බෙදීම් දීර්ඝකාලීනව පවත්වාගෙන යාමටයි. එමඟින් බාහිර රටවලට අපේ රටට ඇතුළුවීමට මඟ පාදා දීමටයි. අද අපට පෙනෙනවා, ‘මැද පෙරදිග රටවල අභ්‍යන්තර ගැටුම් අවුලුවලා ඒවායින් වාසි අරගෙන තිබෙන්නේ කවුද‘ කියා. මේ තත්වය මේ රටේ අලුත් පරම්පරාව තේරුම් ගනිමින් සිටිනවා. ඒ වගේම උතුරේ ජනතාවත් මේ අන්තවාදී දේශපාලනය ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරන බව දවසින් දවස දැකගත හැකිව තිබෙනවා.

දැන් බලන්න සම්බන්ධන් මහත්තයාට පසුගිය රජයෙන් ජීවිතාන්තය තෙක් රැඳෙන්න නිවසක්, ආවතේව කරන්න පිරිසක්, වාහනයක් ලැබුණා. නමුත් උතුරේ දෙමළ ජනතාවගේ කිසිඳු පැනයකට පසුගිය රජයෙන් පිළිතුරු ලැබුනේ නැහැ. සම්බන්ධන් මහත්තයලා විසඳුම් රැගෙන දුන්නෙත් නැහැ. දෙමළ ප්‍රභූ දේශපාලනඥයන් මෙතෙක් කලක් දෙමළ ජනතාවගේ ප්‍රශ්න දඩමීමා කරගෙන තමන්ට සුවපහසු ජීවිත සදා ගත්තා. ඔවුන් කැමති නැහැ සාමාන්‍ය දමිළ ජනතාවගේ ජීවන තත්වය උසස් වෙනවාට. ඔවුන්ට අවශ්‍ය දෙමළ ජනතාව දැනට ඉන්න දුක්ඛිත තත්වයෙන්ම තබා ගන්න.

අපි රජයක් ලෙස කටයුතු කරන්නේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීමටයි. එහිදී මේ අන්තවාදී දේශපාලනඥයන්ගේ උවමනාවන් වෙතින් සාමාන්‍ය ජනතාව මුදවා ගත හැකියි, යන විශ්වාසය අපට තිබෙනවා.”

එසේම කෝවිලෙහි චාරිතානුකුලව සිදුකරන ‘පොංගල් බත‘ පිසිමේ අවස්ථාවට ද සහභාගී වූ වීරවංශ ඇමතිවරයා ඉන් අනතුරුව කොළඹ දිස්ත්‍රික් දෙමළ ව්‍යාපාරික විසින් සංවිධානය කරනු ලැබූ සුහද හමුවකට ද එක්විය.

එම සුහද හමුව ඉහත කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති පී. සුන්දරලිංගම්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ හිටපු සභාපති ජෙයරාජ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සංවිධානය කොට තිබිණි. අමාත්‍යවරයා හා දෙමළ ව්‍යාපාරික ප්‍රජාව අතර ජාතික සමගිය තර කිරීම වෙනුවෙන් ගත හැකි පියවරයන්, ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආකාරයන් ආදී කරුණු සම්බන්ධයෙන් පැය 02කට ආසන්න කාලයක් ඉතා සුහදව සංවාදයක් පැවැත්විණි.

ඉන් අනතුරුව එම පිරිස සමග ‘පොංගල් බත‘ සමග හින්දු චාරිත්‍රානුකූලව සැකසුණු දිවා ආහාරයක් භුක්ති විදීමට ද විමල් වීරවංශ අමාත්‍යවරයා අමතක නොකෙළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020-01-15

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*