BREAKING NEWS

රුපියලත් හරියට රනිල්ගේ කලිසම වගේ – රනිල්ගේ අලුත්ම උපාය විමල් හෙළි කරයි

වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් ජාතික වශයෙන්, දේශීය නිෂ්පාදනය බලගන්වන, ජාත්‍යන්තර වශයෙන්, නැඟී එන ලෝක බල හවුල වන BRICS සංවිධානය සමග කෙලින් සිටගත හැකි, “නායකත්ව පරිවර්තනයක්” රට තුළ සිදුවිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා හිමිකම් කියන ආර්ථික මොඩලයෙන් මේ කිසිවක් සිදු නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එහෙයින් “රනිල්” ප්‍රශ්නය මිස උත්තරය නොවන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ පෙන්වා දුන්නේ පසුගියදා අතුරුගිරිය සුජානි උත්සව ශාලාවේදී පැවති “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද? යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘රනිල් රට ගොඩදායි ද?’

“උත්තර ලංකා සභාගය ලෙස අප මෙවැනි මාතෘකාවක් යටතේ ජන හමු මාලාවක් පැවැත්වීමට හේතුව, සිදු වූ මහා සමාජ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ නැමැති සාධකයට පුළුවන්, කියලා ඇතැමුන් විශ්වාස කිරීමයි. ඒ නිසාම අපි පුද්ගලානුබද්ධ ප්‍රතිවිරෝධයකින් තොරව මේ පිළිබඳව නිවැරැදිව විමසා බැලිය යුතුව තිබෙනවා. ඉන්ධන, ගෑස් පෝලිම් නැති නිසා, භාණ්ඩ හිඟයක් නොමැති නිසා බැලූ බැල්මට කෙනෙකුට ‘රනිල් වික්‍රමසිංහ රට ගොඩදායි’ කියලා හිතෙන්න පුළුවන්.

‘රුපියලත් හරියට රනිල්ගේ කලිසම වගේ’

‘රුපියලේ කතාවෙන්ම’ අපට මේක තේරුම් ගන්න පුළුවන්. සමාජ මාධ්‍ය ජාලයක එක්තරා තරුණයකු සටහන් කර තිබුණා, ‘රුපියලත් හරියට රනිල්ගේ කලිසම වගේ’ කියලා. එහෙම කියන්නේ, ඒ කලිසම හිටපු ගමන් ඉහළට එසවෙන – හිටපු ගමන් පහළට වැටෙන නිසයි. රුපියලත් දැන් හිටපු ගමන් ශක්තිමත් වෙනවා, හිටපු ගමන් දුර්වල වෙනවා.
රුපියල ශක්තිමත් වෙමින් ඇවිල්ලා නැවත දුර්වල වුණේ ඇයි? ප්‍රධානතම හේතුව තමයි ඇතැම් ආනයනික භාණ්ඩවලට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීම. ආනයනික භාණ්ඩවලට පනවා තිබූ සීමාවන් ඉවත් කළ ගමන් ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩි වෙලා රුපියල දුර්වල වෙනවා. ඉදිරියේදී 100%ක් ආනයනික සීමා ඉවත් කරන්න කියලා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ. එහෙම කළාම රුපියල දැන් තිබෙන තත්ත්වයටත් වඩා බාල්දු වීම අනිවාර්යයක්. ඒ ආනයනික සීමා ඉවත් කිරීමෙන් පමණක් රුපියලට සිදු වන දෙයයි.

බලන්න, අපි දැන් ණය ගෙවන්නේ නැති රටක්. වසරකට ඩොලර් බිලියන හයක් ගෙවීමට ඇති අපට, මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළාම වසරකට ඩොලර් බිලියන පහක පමණ ණය වාරිකයක් ගෙවීමට සිදු වෙනවා, කියා සිතමු. එහෙම වුණාම යළිත් ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. රුපියල තවදුරටත් බාල්දු වෙනවා. මේ විදියට දිගින් දිගටම රුපියල දුර්වල වීමෙන් ආනයනික භාණ්ඩවල මිල පමණක් නොවෙයි, සෑම දේශීය නිෂ්පාදනයකම මිලත් ඉහළ යාම සිදු වෙනවා. මේ සරල කාරණය අපි කවුරුත් තේරුම් ගත යුතුයි. ‘රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩදායි’ කියලා කවුරුන් හෝ හිතනවා නම්, ඒක එහෙම හිතන අයට සිදුව ඇති බරපතලම වැරැද්දක්.

‘රනිල්ගේ උපක්‍රමය’

දැන් බලන්න, ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් වූ රටක් අපට උරුම වෙලා තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කරන්නේ? ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් හා මූල්‍ය අරමුදලෙන් යළි ණය ගැනීම. එහෙම කරලා ණය තොග තව ටිකක් වැඩි කරගෙන හරි ‘ප්‍රශ්නයක් නැහැ’ කියලා තේරෙන මට්ටමෙන් ඊළඟ ජනාධිපතිවරණය දක්වා රට ඇදගෙන යාම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපක්‍රමය වී ඇත්තේ. ජනාධිපතිවරණ කඩුල්ල උන්නැහේට ඕනේ විදිහට පැන ගත්තොත් එතැන් සිට තමයි මේ රටට ඇත්ත පීඩනයට ගොදුරු වීමට සිදු වෙන්නේ.

‘දරුවා’ පිළිසිඳ ගත්තු හැටි

අපි ‘ණය ගෙවන්නේ නැහැ’ කීවාට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ගත් ණය වාරික ගෙවීම සිදු කරනවා. අපි දැන් නොගෙවා ඉන්නේ ජාත්‍යන්තර පොලී මුදලාලිලාගෙන් 6% – 8% අධික පොලීයට ගත් ‘ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර(ISB)’ නම් වූ ණය වර්ගයට අදාළ ණය වාරික. එම ණය වාරික සමස්ත ණය වාරිකයෙන් 76%ක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ආණ්ඩුව කාලයේ තමයි මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වැඩිම ප්‍රමාණයක් අරගෙන ඇත්තේ. ඒ අවුරුදු හතරහමාරට ඩොලර් බිලියන 10ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය අරගෙන තිබෙනවා. ඒ විදිහට සහන කාල නැති, අධික පොලී සහිත මේ ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 10ක් ගත්තාම එක පාරට අපේ රටේ විදේශ ණය වාරිකය ඩොලර් බිලියන 02 සිට ඩොලර් බිලියන 06 දක්වා ඉහළ ගියා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ ප්‍රශ්නය හදපු කෙනා. ඒ ආකාරයට ඩොලර් බිලියන 10ක් ණයට ගත්තු නිසා තමයි මේ තරම් ඉක්මනට අපේ ආර්ථිකය නමැති ‘බස් එක’ හැප්පුනේ. ඒ කාලයේ තමයි මේ ආර්ථික අර්බුදය නැමැති දරුවා පිළිසිඳ ගත්තේ. ඒ වුණාට ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ තමයි ඒ දරුවා ප්‍රසූත වුණේ. ඔහු එහෙම දරුවකු පිළිසිඳ ගෙන ඇති බව දැනගෙන හිටියේ නැහැ. ‘කෙල මෝලෙන්’ ඇනලා හරි ඒ බව කියන්න ගිහිල්ලා තමයි අපිව එළියට දැම්මේ.

‘සියල්ල පෞද්ගලීකරණය කළ යුතුයි’

අපේ දේශීය නිෂ්පාදනය බලගන්වන, ආනයන ආදේශන නිෂ්පාදන අරඹන ආර්ථික සංවර්ධන මොඩලයක් රනිල් වික්‍රමසිංහ අතේ තිබෙනවාද? නැහැනේ. මාස දෙකක් නැව් ගමනාගමනය නතර වුණොත් අපට ජලසම්පාදන මණ්ඩලයෙන් ලබා දෙන පානීය ජලය බොන්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි, ජලය පිරිසිදු කරන ක්ලෝරීන් ටිකත් බංග්ලාදේශයෙන් හෝ ඉන්දියාවෙන් ආනයනය කරන තැනට රට ඇද වැටී තිබීම. එදා ක්ලෝරීන් පමණක් නොවෙයි, ගොවියාට අවශ්‍ය යූරියා පොහොර ටිකක් නිෂ්පාදනය කරපු රටක් මේක. අද එවැනි කිසිවකට දිරි දීමක් සිදු වන්නේ නැහැ. ‘වික්‍රමසිංහ මොඩලය’ කියන්නේ, ‘රජය ව්‍යාපාර කරන්න උවමනා නැහැ. සියල්ල පෞද්ගලීකරණය කළ යුතුයි’ කියලයි.

‘ලාභය රටින් පිටට’

දැන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් කොටසක් IOC සමාගමට ලබා දීලා තිබෙනවා. තව 150ක් චීනයේ Sinopec සමාගමට ලබා දෙනවා. ඉතිරි පිරවුම්හල් ටිකත් පෞද්ගලික අංශයට ලබා දෙන්න යනවා. IOC සමාගමේ වාර්ෂික ලාභය රුපියල් බිලියන 7 – 10 අතර අගයක්. ඔවුන් ඒ ලාභය ඉන්දියාවට රැගෙන යනවා. සමහරු කියනවා, ‘සිංගප්පූරුවේ එහෙම වෙන්නේ නැහැ’ කියා. සිංගප්පූරුවේ ඊට අදාළ නීති හදලා තිබෙනවා; ලාභය විදේශ විනිමය ලෙස රටින් පිටට ගෙන යන්න බැහැ. එය සිංගප්පූරුව තුළම යළි ආයෝජනය කළ යුතුයි. මෙයාලාට එහෙම නීති හදන්න පණ නැහැ. එහෙම නීති හැදීම කෙසේ වෙතත් අඩුම තරමින් අපනයනයෙන් උපයන විදේශ විනිමය මාස තුනක් ඇතුළත රට තුළට ගෙන ඒමට අදාළව විදේශ විනිමය පනත සංශෝධනය කිරීමටවත් මෙයාලාට උවමනාවක් නැහැ. ඉන්දියාව තුළ එහෙම නීති තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරපු යහපාලන ආණ්ඩුව, නව විදේශ විනිමය පනතක් ගෙනල්ලා අපනයනයෙන් උපයන විදේශ විනිමය රට තුළට ගලා ඒම සංවිධානාත්මකව නතර කරනු ලැබුවා. එමඟින් කියැවෙන්නෙත් වෙන කිසිවක් නොවෙයි, රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන ‘මොඩලයට’ මේ ආර්ථික අර්බුදය විසඳීමට සැබෑ වුවමනාවක් නැහැ, කියලයි.

‘නවීන්ගේ චේතනය’

දේශීය නිෂ්පාදනය බිඳවැට්ටවීම, ආනයනික ද්‍රව්‍ය පරිභෝජනයට හුරු වීම(නිදසුනක් ලෙස දේශීය දියර කිරි නිෂ්පාදනය නවත්තලා, ආනයනික කිරිපිටිවලට හුරු වීම), අධි පරිභෝජන රටාවකට හුරුවීම මේ අර්බුදයට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකියි. මේ තත්ත්වය වෙනස් කිරීමට අදාළ සමාජ ආර්ථික වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහ මහත්තයා අතේ තිබෙනවාද? නැහැනේ. මේ අර්බුදයෙන් ගොඩඒමට නම් සමාජ ආකල්පවල, ජීවන රටාවේ හා දේශපාලනතන්ත්‍රය තුළ පුළුල් පරිවර්තනයක් සිදු කළ යුතුයි. මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනතන්ත්‍රය තුළ සිදු කරන පරිවර්තනය කුමක්ද? එකක් තමයි ඡන්දය පැරදිලා හතරගාතෙන් වැටිලා හිටපු යූඑන්පී අයට ආණ්ඩුකාර ධුරයන් ලබා දීම. බලන්න, ගාමිණී දිසානායක මහත්තයාගේ පුතා නවීන් දිසානායක සබරගමුවේ ආණ්ඩුකාර ධුරය ලබා ගෙන කියනවා, මගේ ‘චේතනයෙන්’ පාසල් දරුවන්ට පොත් ලබා දෙනවා, කියලා. ඒ වගේම කොළඹ නගරාධිපති ධුරය දරපු රෝසි සේනානායකට ‘නගරාධිපති නිල රථය’ සමග ජනාධිපති උපදේශක ධුරයක් ලැබෙනවා. සමාජය ඉල්ලන්නේ මෙහෙම දේශපාලන පරිවර්තනයක් ද? මේකෙන් පෙනෙන්නේ, රනිල් වික්‍රමසිංහ මේ දේශපාලන සංස්කෘතියේ තිබෙන මජර ලක්ෂණ ඉවත් කරනවා වෙනුවට තවදුරටත් වර්ධනය කොට පවත්වාගෙන යෑමට සූදානම් වන බවයි. දැන් බලන්න, සනත් නිශාන්තලා නහයෙන් අඬන්නේ මොකටද? අපේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමතිකම් නැහැ, කියලානේ. ‘කොහොමද මේ රට මේ ආර්ථික අර්බුදයෙන් එළියට ගන්නේ? ඒකට මේ ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැහැනේ’ කියලා කියනවා වෙනුවට මේ අය අද ජ්‍යෙෂ්ඨයන්ට ඇමතිකම් නැති එක ප්‍රධාන ප්‍රශ්නය කරගෙන තිබෙනවා. ඒ නිසා අපට ඉතා පැහැදිලියි, මේ මොහොතේ සිදු විය යුතු දේශපාලන පරිවර්තනය මේ පාලකයන් අතින් සිදු නොවෙන බව.

‘මෙහෙම ගියොත් නැගිටීමක් නැහැ’

90 දශකයේ දී ඉන්දියාවත් මෙවැනිම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. එහිදී එවකට ඉන්දියාවේ ප්‍රමුඛතම ආර්ථික විශේෂඥයකු වූ මන්මෝහන් සිං මහතා(පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්) ප්‍රධාන කණ්ඩායමක් තමන් සැකසූ සැලැස්මක් අරගෙන තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ. ඔවුන් මූල්‍ය අරමුදලට ඒත්තු ගැන්වූවා, ‘මේක තමයි අපේ සැලැස්ම. අපි මේ විදිහට තමයි ඉදිරියට යන්නේ’ කියා. නමුත් බලන්න, ඇමරිකා එක්සත් ජනපදයේම උපාංගයක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත අපි ගියේ ඇමරිකා එක්සත් ජනපද කොම්පැනි දෙකක් හදපු සැලැස්මක් අරගෙනයි. මේ අර්බුදයෙන් ගොඩඑන්න සැලැස්මක් හදන්නවත් අපට මානව සම්පත නැහැ, කියලා හිතනවා නම් එතැන් සිටම සියල්ල අවුල්. අපට නැගිටීමක් නැහැ. මේ යන විදිහට ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වන බව අපට තේරුම් ගැනීමට හැකි විය යුතුයි.

‘ගන්න තිබෙන නරකම තීරණය’

දැන් බලන්න, පාකිස්ථානය කටයුතු කරන ආකාරය. පාකිස්තාන ආර්ථිකය අපට වඩා අර්බුදකාරී තැනක තිබුණත් ඔවුන් ‘අපට ණය ගෙවීමට බැහැ. අපි බංකොලොත්’ කියන එක තවම පවසා නැහැ. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයට බල කරනවා, ‘ශ්‍රී ලංකාව ආදර්ශයට අරන් විදේශ ණය ගෙවීමට හැකියාවක් නැහැ, කියා ප්‍රකාශයක් කරන්න’ කියලා. රටක් ‘බංකොලොත්’ කියා ප්‍රකාශයට පත් කිරීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි. ඒ වගේම මේ වනවිට පාකිස්ථාන අගමැතිවරයා පවසා තිබෙනවා, ‘චීනයෙන් උදව් ලබා ගන්නවා හැර අපට වෙන විකල්පයක් නැහැ’ කියා. අපි දන්නා ආකාරයට මෙරට චීන තානාපතිවරයා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබුණා ‘ආර්ථිකය ගැන බරපතළ තීරණයක් ගන්නවා නම් අපට ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් කරන්න’ කියලා. ඒ බරපතළ තීරණය වන්නේ ‘විදේශ ණය ගෙවීම පැහැර හැරීමට තීරණය කිරීම’ මිස අනෙකක් නොවෙයිනේ. චීනය කියන්නේ මේ රටේ ප්‍රධානතම ආයෝජකයෙක්. පෝට් සිටිය, හම්බන්තොට වරාය ඔවුන්ගේ ආයෝජන අතර වෙනවා. මේ රට බංකොලොත් රටක් වුණාම එයාලාගේ එවැනි ආයෝජනවලට ඒක තදින් බලපානවා. නමුත් ඔවුන්ට ඒ අදාළ තීරණය කල්තියා දැනුම් දෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ. වත්මන් මහ බැංකු අධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි දින හතරක් යන්න මත්තෙන් ඉහත තීරණය ප්‍රකාශයට පත් කළා. පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය දැනුම්වත් නොකර, ජනාධිපතිවරයාට පමණක් ඒ බව දැනුම් දී වත්මන් මහ බැංකු අධිපතිවරයා හිතුමතයට ප්‍රකාශයට පත් කළා, ‘අපි විදේශ ණය ගෙවන්නේ නැහැ. අපි බංකොලොත් රටක්’ කියා. මේක තමයි ගන්න තිබෙන නරකම තීරණය. ඒකයි පාකිස්තානය තවමත් ඒ නරකම තීරණය නොගෙන සිටීමට පරිස්සම් වන්නේ.

‘පනින රිලවුන්ට ඉණිමං’

ඒ අතරේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළා, ‘රුපියල සම්පූර්ණයෙන් පා කර හරින්න. එහෙම නොවුණොත් ඉන්දියාව ඉතිරි ණය වාරික ලබා නොදෙයි’ කියමින්. එයට ඉහත දී එවකට නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයකු වූ වත්මන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ ඉහළ පිරිසක් රුපියල පූර්ණ ලෙස පා කර හැරිය යුතු බවට ලිඛිත ඉල්ලීමක් කර තිබුණා. ‘මේක හරිද, වැරදිද’ කියා ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා තිබුණේ යහපාලන සමයේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙනුයි. එහිදී ‘පනින රිලවුන්ට ඉණිමං බදිනවා’ වගේ ඔහු පවසා තිබුණේ මේ මොහොතේ ගත හැකි හොඳම තීරණය එය බවයි. ඒ විදිහට එදා රුපියල සම්පූර්ණයෙන් පා කළාම රුපියල් අර්බුදයකුත් ඇති වෙනවා. මේ යන්නේ රුපියල් අර්බුදයකුත් වර්ධනය වෙමින් යන පාරකයි.

‘බින්න බහින ඉන්දියන් රුපියල’

දැන් රුපියල දුර්වල වෙන මේ අවස්ථාවේ ඉන්දියාව බලනවා, ඉන්දියානු රුපියල අපේ රට ඇතුළෙ ‘බින්න බස්සවා’ ගන්න. දැනටමත් නීත්‍යනුකූල නොවුණත් යාපනය කඩවල ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු සිදු වෙනවා. ඉන්දියානු රුපියල මේ විදිහට ශ්‍රී ලංකාව තුළ භාවිතා වන මුදල් ඒකකයක් බවට පත් වුවහොත් රුපියල තවදුරටත් නොවැදගත් එකක් වෙනවා. ඊළඟට ඉන්දියාව ඔවුන්ගේ රේගුව සහ අපේ රේගුව ඒකාබද්ධ කරාවි. එහෙම කළාම මූල්‍යමය වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වෙනවා. මේ වෙන්න යන අනතුරුදායක කිසිවකට රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්තර හොයනවා ද?

‘නව ලිබරල්වාදී මූලෝපායට තවත් නමක්’

මෙතැනදී අපි තේරුම් ගත යුතුයි, ‘රනිල්’ කියන්නේ පුද්ගල නාමයක් විතරක් නෙවෙයි, ක්‍රමයක්. අපි ඒ ක්‍රමයට කියනවා ‘නව ලිබරල්වාදී ආර්ථික මූලෝපාය’ කියලා. මෙම මූලෝපාය අනුව රජය ව්‍යාපාර කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි. නමුත් නව ලිබරල්වාදයේ කවර කප්පිත්තකු බලයේ හිටියත් වී අස්වැන්න එන කාලයට ඔය මූලෝපායෙන් ඉවත් වෙලා දිසාපතිවරුන්ට වී මිලදී ගැනීමට කීයක් හෝ යවනවා. නැත්නම් පෞද්ගලික වී මිලදීගන්නන් අඩු මිලට වී මිලදී ගැනීම නිසා ගොවියා වී වගාවෙන් ඉවත් වෙනවා; රටේ ආහාර සුරක්ෂිතතාව නැති වෙනවා. ඒකෙන් පෙනෙන්නේ නැද්ද ‘රජය ව්‍යාපාරවලින් සම්පුර්ණයෙන්ම ඉවත් වීම වනාහි පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා සම්පූර්ණයෙන්ම අසරණ කර දැමීමක්’ කියා. සමහර ව්‍යාපාර රජය අතේ තබා ගත යුතු නැහැ. නමුත් බලශක්ති සුරක්ෂිතතාව සහ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට ඉවහල් වන උපායමාර්ගික වැදගත්කමින් යුක්ත ව්‍යාපාරවල රජය නියැළිය යුතුයි.

‘ටෙලිකොම්’ සුබාස්කරන් අලිරාජාට

දැන් ආරංචි විදිහට ටෙලිකොම් සමාගම සුබාස්කරන් අලිරාජාට ලබා දෙන්න රනිල් වික්‍රමසිංහ පාලනය සූදානම් වෙනවා. ඔබ දන්නවා, සුබාස්කරන් අලිරාජා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉපදුනු, එංගලන්තය මුල් කරගෙන ජීවත් වන, එල්ටීටීඊ සංවිධානයට විශාල වශයෙන් මුදල් පොම්ප කළ, මේ වන විට EAP මාධ්‍ය ජාලය සතු කරගෙන සිටින, මහා පරිමාණ මූල්‍ය ධනපතියෙක් බව. ටෙලිකොම් සමාගම ගෙඩිය පිටින් ගත්තාම 5G ජාලය පමණක් නොවෙයි, ඒහා බැඳුණු දත්ත පද්ධතියම මේ අය සතු වෙනවා. ඇමරිකා එක්සත් ජනපද ආධාර ලබන ආයතනයක් වන Advocataහි ඉන්න ඊනියා විද්වතකු, මහාචාර්යවරයකු කියනවා, ‘ටෙලිකොම් එක පෞද්ගලික අංශයට ගියා කියලා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ’ කියලා. එයාගෙ ආරක්ෂාවට නම් ප්‍රශ්නයක් නැතිව ඇති. නමුත් ටෙලිකොම් එක යන්නේ මාධ්‍ය ජාලයකුත් හිමි කෙනෙක් අතට. එයාට ලැබෙන්නේ 5G තාක්ෂණය සහිත, ලාභ ලබන ආයතනයක්. එමගින් ඔහුට තමන්ගේ මාධ්‍ය ජාලය පුළුල් කර ගැනීමට අමතරව රටේ දේශපාලනය හැසිරවීමේ තීරක බලයකුත් ලැබෙනවා.

එදා අගමැතිතුමියට ආ තර්ජනය…

70 දශකයේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති වෙළෙඳපොළ හිමි කරගෙන හිටියේ විදේශ සමාගම් කිහිපයක්. කැල්ටෙක්ස් ඇතුළු එම සමාගම්වල ප්‍රධානීන් ගෙන්වලා එවකට අගමැති ධුරය දරපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කිව්වා, ‘කරුණාකර ඔබලා වැඩි මිලට තෙල් ගෙනැවිත්, මේ රටේ මිනිස්සුන්ට වැඩි මිලට විකුණන්න එපා! ලෝකයේ අඩු මිලට තෙල් ගන්න පුළුවන් ඊජිප්තුව, රුසියාව වැනි රටවලින් තෙල් ගෙනැවිත් මේ රටේ මිනිස්සුන්ට අඩු මිලට තෙල් දෙන්න’ කියා. සමාගම් පවරා ගන්න කතාවක් එතුමිය පවසා තිබුණේ නැහැ. නමුත් අර ඉල්ලීම පිළිබඳව දැනගත් එවකට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා අගමැතිතුමියට තර්ජනය කරනවා, ‘අපි ශ්‍රී ලංකාවට දෙන ආධාර, ශිෂ්‍යත්ව නතර කරනවා. තේ මිලදී ගැනීමත් නතර කරනවා’ කියා. ඔන්න ඔය තර්ජනය දමපු නිසා තමයි මැතිනියට හිතුනේ ‘මේක මාර වැඩක්නේ’ කියා. මැතිනියගේ ඉල්ලීමට ප්‍රතිචාර විදිහට එදා ආවේ තර්ජනයක්. මේ බව දැනගත් එවකට ශ්‍රී ලංකාවේ සෝවියට් සංගමයේ තානාපතිවරයා පැවසුවා, ‘ඔබ බිය වෙන්න එපා! අපි ඔවුන් මිලදී ගත් තේ ප්‍රමාණය මිලදී ගන්න සූදානම්’ කියා. මේ තත්ත්වය හමුවේ තමයි මැතිනිය තීරණය කළේ මේ සමාගම් ජනසතු කරන්න.

රාජ්‍යය ශක්තිමත් වන්නේ රාජ්‍ය සමාගම් හරියට ක්‍රියාත්මක කළොත්…
රටක මුළු බලශක්ති වෙළෙඳපොළම විදේශ සමාගම් සතු වුණාම ඒ අයට ලැබෙනවා බලයක්, තමන් අසතුටු පාලනයක් නම් එම රට තුළ තිබෙන්නේ එම පාලනතන්තය දුර්වල කරන්න. දැන් බලන්න IOC කියන්නේ ඉන්දියානු රාජ්‍ය සමාගමක්, ඒ වගේම Sinopec කියන්නේ චීනයේ රාජ්‍ය සමාගමක්. ඒ රටවල ඒ රාජ්‍ය සමාගම් අද තමන්ගේ රටවල පමණක් නොවේ ශ්‍රී ලංකාව තුළත් ව්‍යාපාර කටයුතු කරනවා. එහෙම වෙද්දි ‘රනිල් මොඩලය’ රජය ව්‍යාපාර කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුයි, කියන තම ප්‍රතිපත්තියට අනුව මේ රටේ රාජ්‍ය ආයතන විකුණා දමනවා. ඉන්දියානු රජය ඇයි අපේ රටට පෞද්ගලික සමාගමක් නොඑවා IOC වැනි රාජ්‍ය සමාගමක් එවන්නේ? ඉන්දියාව දන්නවා ඉන්දියානු රාජ්‍යය ශක්තිමත් වන්නේ රාජ්‍ය සමාගම් හරියට ක්‍රියාත්මක කළොත් කියා. අපට පිටින් බලපුවාම පෙනෙන්නේ චීනය ධනවාදී රටක් වගේනේ. ඔවුන් කියන විදියට චීනය තුළ ඇත්තේ වෙළෙඳපොළ සමාජවාදයයි. එහි ව්‍යාපාරවලින් බහුතරයක් රාජ්‍ය සමාගම් සතුයි.

“වාලච්චේන උත්තරය”

චීනයට, ඉන්දියාවට රාජ්‍ය සමාගම් පවත්වාගෙන යාමට පුළුවන් නම් අපට බැරි ඇයි? මෙතැන තිබෙන්නේ රාජ්‍ය සමාගම්වලට ලබාදෙන නායකත්වයේ තිබෙන ගැටළුවයි. 2019 දී මට කර්මාන්ත අමාත්‍ය ධුරය ලැබෙන විට එහි විෂය පථයට ජාතික කඩදාසි සමාගම ද අයත් වූවා. ඒ යටතේ තිබූ වාලච්චේන කඩදාසි කම්හල අබලි යකඩවලට විකුණා දැමීමට කැබිනට් තීන්දුවක් ද යහපාලන ආණ්ඩුව ගෙන තිබුණා. අපි පළමුව ජාතික කඩදාසි සමාගමට හොඳ සභාපතිවරයකු දැම්මා. ඉන්දියානු ඉංජිනේරුවරු දෙදෙනෙකුගේ සේවය ලබාගෙන එක් මුද්‍රණ යන්ත්‍රයක් අලුත්වැඩියා කළා. ආණ්ඩුවට බරක් නොවී එම යන්ත්‍රය නවීකරණය කළා. පැරණි විදුලි බිල් ටික ටික ගෙවීමේ පොරොන්දුව පිට, යළි කඩදාසි කම්හලට විදුලිය ලබා ගත්තා. සේවකයන් ද ටික ටික ගත්තා. හිමීට වැඩ ඇරඹුවා. අද එතැන සේවකයන් එකසිය ගණනක් සේවය කරනවා. වැඩිපුර ඉන්නේ දෙමළ සහ මුස්ලිම් අය. ලොතරැයි මුද්‍රණයට කඩදාසි හිඟ වුණු වෙලාවේ ගොවිසෙත ඇතුළු ලොතරැයි මුද්‍රණයට වාලච්චේන කඩදාසි ලබා දීමට හැකි වී තිබෙනවා. පළාත් පාලන ඡන්දයට අවශ්‍ය බොහෝ ලේඛන මුද්‍රණයට රජයේ මුද්‍රණාලය ලබාගෙන තිබුණේ ද වාලච්චේන කඩදාසියි. අද වාලච්චේන කඩදාසි කම්හල රජයට බරක් නොවෙයි. මෙමගින් කඩදාසි සඳහා වැයවෙන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගැනීමට හැකිව තිබෙනවා. විදේශ විනිමය අර්බුදයෙන් ගොඩඒමට පුළුවන් මෙවැනි උත්තරවලින් නොවෙයිද?

IMF යෑමෙන් සිදු වුණේ කුමක්ද?

‘රනිල්’ කියන්නේ රජය ව්‍යාපාර කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුයි, යන ප්‍රතිපත්තිය සහිත ආර්ථික මොඩලයකටයි. සජබ ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් කියන්නෙත් රජය ව්‍යාපාර කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුයි, කියලයි. ඒ අනුව බැලුවාම ‘සජබ’ කියන්නේ ‘රනිල්’ කියන ආර්ථික මොඩලයටමයි. දැන් මේ ‘රනිල්’ කියන ආර්ථික මොඩලය ‘සජබ’ හැටියට පමණක් නොවෙයි ‘ජවිපෙ’ හැටියටත් ඉන්නවා. ‘සජබ’ හර්ෂ ඇතුළු පිරිස ‘IMF යන්නම ඕනේ’ කිව්වා. රනිල් ‘හරි මම යනවා’ කියලා IMF ගියා. ජවිපෙ සුනිල් හඳුන්නෙත්තිත් කියන්නේ ‘IMF යන්න ඕනේ’ කියලා. දැන් ‘IMF යන්න’ කියපු ජවිපෙ කියනවා, ‘IMF කොන්දේසි ඉටු කරනවාට අපි විරුද්ධයි’ කියා. මේ ‘රනිල්’ නැමැති ආර්ථික මොඩලය, මූලෝපාය නියෝජනය කරමින් IMF යන්න කියපු හැමෝම තේරුම් ගන්න ඕනේ, ‘IMF යෑමෙන් සිදු වුණේ ගොඩයෑමක් නොවෙයි තවදුරටත් මඩේ වැටීමක්’ කියා.

අර්බුදය නිර්මාණය කළ ‘මොඩලය’

ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියාවි, ‘කඩිනමින් අපේ සියලු කොන්දේසි ක්‍රියාත්මක කරන්න. එවිට තමයි ඉතිරි ණය වාරිකය ලබා දෙන්නේ’ කියා. එවිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි කොන්දේසිත් ඉටු කිරීමට සිදු වෙනවා. එවිට රාජ්‍ය බැංකු පළමුව කඩාවැටේවි. ඒ අනුව යමින් පෞද්ගලික බැංකුත් කඩාවැටේවි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ, අපි ඉන්නේ ‘වේදනානාශක’ භාවිතා කිරීම නිසා වේදනාව නොදැනෙන තත්ත්වයක බව. වේදනානාශකවලින් දිගටම පවතින්න බැහැ. අපට සැබෑ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ, ‘රනිල් මොඩලය කියන්නේ මේ අර්බුදය නිර්මාණය කරපු මොඩලය මිස අර්බුදය විසඳන්න පුළුවන් මොඩලයක් නොවෙයි’ කියලා.

‘රනිල් මොඩලය’

‘රනිල් මොඩලය’ මේ අර්බුදය නිර්මාණය කළේ කොහොමද? අපි ඒ පිළිබඳව මදක් විමසා බලමු. ඒ මොඩලය මගින් 1977 සිට ක්‍රම ක්‍රමයෙන් රාජ්‍ය ආයතන සතුව තිබූ නිෂ්පාදන ශක්තිය බිඳවැට්ටුවා. අන්තිමට ඒ දේශීය නිෂ්පාදන පිටරටින් ගෙන ඒම හැර අන් විකල්පයක් නැති තත්ත්වයට පත් කළා. දේශීය නිෂ්පාදන බිඳවට්ටලා, හැම දෙයක්ම පිටරටින් ගෙන ඒම ‘රනිල් ආර්ථික මොඩලය’යි. එසේ කිරීම තමයි මේ ආර්ථික අර්බුදය නිර්මාණය වීමට ප්‍රධාන හේතුව. මේ ආර්ථික මොඩලයෙන් කියැවෙන්නේ ‘ණයට අරන් සැපට කලා ඉමු; අනාගත පරපුරට ඕනේ මගුලක් වෙද්දෙන්’ කියන එක නොවෙයිද? මේ මොඩලයට අපි ‘රනිල් මොඩලය’ කීවාට එහි නිර්මාතෘවරයා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයායි. නමුත් ඉතිහාසය දෙස හොඳින් බලන්න. එම මොඩලයේ හොඳම අයිතිකරුවා රනිල් වික්‍රමසිංහයි. ඔහු කර්මාන්ත අමාත්‍ය ධුරය දරපු 80 දශකයේ රාජ්‍ය පොහොර සමාගම වසා දැමුවා. ඔහු කර්මාන්ත ඇමැති හැටියට කළේ කර්මාන්ත ආරම්භ කිරීම වෙනුවට කර්මාන්ත වහපු එක. එහෙමනම් අර්බුදයට හේතුව කොහොමද අර්බුදයට උත්තරය වන්නේ? ඒ නිසා ‘මේ මොඩලය තමයි අපෙත් මොඩලය’ කියන එක් එක් ස්වරූපයෙන් ඉන්න ‘රනිල්ලාට’ බැහැ මේ අර්බුදයෙන් රට ගොඩදැමීමට.

IMF උපායමාර්ගය

මේ විදිහට අපේ රටට ඉදිරියට යන්න බැහැ. කවර මොහොතක හෝ බරපතළ කඩාවැටීමක් සිදු වෙනවා. ඒ නිසා අපි මේ තත්වය නිවැරදිව තේරුම් ගැනීම සඳහා අවශ්‍ය ප්‍රඥාවන්තකම ජනතාවට ලබා දිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිකර්මවලින් ගොඩආපු රටවල් ස්වල්පයයි තිබෙන්නේ. ඊජිප්තුව සඳහා ඔවුන් සිදු කළ ප්‍රතිකර්ම පිළිබඳව අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඊජිප්තු ජනතාවගෙන් සමාව ඉල්ලන්නත් සිදු වුණා. ආජන්ටිනාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීර්ඝ කාලයක් තිස්සේ ලබා දෙන ප්‍රතිකර්මවලින් අන්ත අසරණ තත්වයකට වැටිලා තිබෙනවා. යම් රටක පවතින ආර්ථික අර්බුදය කඩිනමින් විසඳනවා වෙනුවට ඒ අර්බුදය දිගු කලක් තිස්සේ ඇදගෙන යාම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපායමාර්ගය වී ඇත්තේ. ‘IMF එක’ රටවල් පත්ව ඇති ආර්ථික අර්බුදයන් දිගුකාලීනව ඇදගෙන යන විට ඇමරිකා එක්සත් ජනපදය එම අසරණ බව පාවිච්චි කරලා ඒ රටවලට ඇතුළු වෙලා තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා.

ටොප් සීක්‍රට් මිෂන්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තත්, අපේ ආර්ථික අර්බුදය උත්සන්න වුණාම සී අයි ඒ ප්‍රධානියා ඇතුළු 20ක කණ්ඩායමක් ‘ටොප් සීක්‍රට් මිෂන්’ එකක් සඳහා මෙහි ආවා. රටක ආර්ථික පණනල තීරණය කරන්නේ ‘IMF දොස්තර’ නම් ඇමරිකාවට පුළුවන් ඒ රටට ඇවිත් ඔවුන් සාමාන්‍ය වෙලාවකදී එකඟ නොවන ඉල්ලීම් දිනාගන්න. ඒ අනුව යමින් ඉහත කී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවැනි ඉල්ලීම් හතරක් ඉදිරිපත් කළා. පළමුවැනි ඉල්ලීම ටෙලිකොම් සමාගම සතු දත්ත කේබල් ටැප් කිරීමට ඉඩ දීම. දෙවැනි ඉල්ලීම රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියාට ඉහළින් සීඅයිඒ නිලධාරියකු පත් කිරීම. තුන්වැන්න තමයි අපේ ගුවන්තොටුපළවල මෘදුකාංගයක් සවි කරලා යන එන අය පිළිබඳ තොරතුරු ලබාගැනීම. මේ තුනටම රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී තිබෙනවා. හතරවැනි ඉල්ලීම තමයි ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන්ට අවි ආයුධ සහිතව ශ්‍රී ලංකාව තුළ නිදහසේ සැරිසැරීමට ඉඩ දීම. ඒක පමණක් පසුව සලකා බැලීමට රනිල් වික්‍රමසිංහ මහතා අවසර ඉල්ලා ගෙන තිබෙනවා. ‘පස්සේ බලමු’ කියන්නේ ‘ජනාධිපතිවරණයෙන් පස්සේ බලනවා’ කියන එක මිස ‘බැහැ’ කියන එක නොවෙයි.

BRICS හවුලට එකතු වීම

මෙවැනි තත්වයක් යටතේ ‘මේ ආර්ථික අර්බුදයෙන් අපේ රට ගොඩයයි’ කියා සිතිය හැක්කේ පල් මෝඩයෙක්ට පමණයි. අද ලෝක ආර්ථික අර්බුදයක් ද හටගෙන තිබෙනවා. ඊට මුහුණ දීමේ හැකියාව ඇත්තේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව එක්ව පිහිටුවාගෙන ඇති BRICS හවුලට බව ප්‍රංශ ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රංශය ද නුදුරේදීම BRICS හවුලට එකතු වන බව ඔහු සඳහන් කර තිබෙනවා. අපේ රට ගොඩදැමිය හැක්කේ ‘අපිත් BRICS හවුලත් සමග එකතු විය යුතුයි’ කියන පාලකයෙකුට පමණයි. දැන් BRICS හවුල තම රටවල් අතර ගනුදෙනු කිරීමට පොදු මුදල් ඒකකයක් හඳුන්වා දීමට ද සූදානම්. එසේ කළාම ඩොලරයට තිබෙන ඉල්ලුම තවදුරටත් අඩු වේවි. එපමණක් නොවෙයි අද චීනයේ මැදපෙරදිග හොඳම මිතුරාව සිටින සෞදි අරාබියත් BRICS හවුලට එකතු වීමට සූදානමින් සිටිනවා. සෞදි අරාබිය තමන්ගේ උපායමාර්ගික දැලෙන් ඉවතට යෑම ඇමරිකා එක්සත් ජනපදයට අද විශාල පහරක්ව තිබෙනවා. සෞදි අරාබිය දන්නවා, ‘අපි ඉන්න ඕනේ නැඟී සිටින බලවතුන් සමඟයි’ කියා. නමුත් අපේ වත්මන් පාලකයා ඉන්නේ කඩාවැටෙන බලවතාගේ වැලේ එල්ලිලා.

නායකත්ව පරිවර්තනයක්

මේ අර්බුදයෙන් ගොඩඒමට නම් ජාතික වශයෙන්, දේශීය නිෂ්පාදනය බලගන්වන, ජාත්‍යන්තර වශයෙන් BRICS හවුලත් සමඟ කෙළින් සිට ගත හැකි නායකත්ව පරිවර්තනයක් රට තුළ සිදුවිය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොඩලය මගින් මේ කිසිවක් සිදු වන්නේ නැහැ. ඔහු ඉන්නෙ ඇමෙරිකානු පැරැණි වලව්ව දෙස බලාගෙනයි. රජය ව්‍යාපාර කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි, කියන අයෙකුට දේශීය නිෂ්පාදනය බලගැන්වීමට ද බැහැ. මේ දෙකම බැරි කෙනාට පුළුවන් ශ්‍රී ලංකාවටත් ආජන්ටිනාවට අත්වූ ඉරණම අත්කර දීමට පමණයි.
රනිල් වික්‍රමසිංහ මහත්තයාට කුරුන්දි විහාරය සතු ඉඩම් පිළිබඳ තිබෙන උනන්දුව මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නැහැ. කුරුන්දි විහාරය පිහිටා ඇත්තේ නාගචෝල වන රක්ෂිතයේ. එහෙම ගත්තාම මේ ‘කුඹුරු කරනවා’ කියන්නේ වන රක්ෂිතයකයි. වෙනත් වන රක්ෂිතයක ‘කුඹුරු කළා’ කිව්වා නම් ඊට විරුද්ධව කොතරම් පරිසරවේදීන් පිරිසක් එළි බහිනවා ද? අපට මතකයි එක් අවස්ථාවක ‘පණු කරඳ ගහක්’ වෙනුවෙන් එක නෝනා කෙනෙක් මැරෙන්න ගියා. දැන් අක්කර දහස් ගණනකින් සමන්විත නාගචෝල වන රක්ෂිතයට වැඩේ දෙන්න දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනාධිපති සමඟ සාකච්ඡා කරනවා. නමුත් එක්ක පරිසරවේදියෙක් මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. කෙසේ වෙතත් අපි අවසන් වශයෙන් තේරුම් ගන්න ඕනේ, ‘රනිල් තමයි ප්‍රශ්නය; රනිල්ගේ ආර්ථික මොඩලය තමයි ප්‍රශ්නය.’ කියා. මේ අර්බුදය නිර්මාණය කළ මොඩලයට එය විසඳීමට බැහැ. ඒ නිසා අපි මේ තත්වයට සරිලන නායකත්ව පරිවර්තනයක් වෙනුවෙන් කැප විය යුතුයි”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-06-20

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*