BREAKING NEWS

හස්ත කර්මාන්ත ශිල්පීන් පැහැබර අනාගතයකට රැගෙන යෑම අපේ අරමුණයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ දී තිබූ අඳුරු සහ අවාසනාවන්ත කාල පරිච්ඡේදය දැන් අවසන් බවත් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ඔවුන් ඉතාමත් පැහැබර, දීප්තිමත් අනාගතයකට රැගෙන යෑම රජයේ අරමුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

‘ශිල්ප Thursday : ජාතික හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවිපොළ’ අද (16) දියත උයනේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත වීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය අමාත්‍යාංශ තුනෙන් එකක් වන ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය අමාත්‍යාංශය ඉතාම කැපවීමෙන් යුහුසුළුව තමන්ට පැවරුනු වගකීම නියමාකාරව ඉටුකරන බව මැනවින් පෙනෙන්නට තිබෙනවා. එතුමා මේ කෙටි කාලය ඇතුළත මෙම හස්ත කර්මාන්ත ශිල්පීන් සිටින ගම්මානවලට ගිහිල්ලා ශිල්පීන්ගේ තිබෙන දුක්ගැනවිලිවලට ඇහුම්කම් දීලා ඒවා නිරාකරණය කරලා, එතුමන්ට තනිව විසඳිය නොහැකි ගැටලු සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයා වශයෙන් අපෙනුත් උපදෙස් අරගෙන එම ගැටලු විසඳන්න ඉතා උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රියා කරනවා. ඒ නිසා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජාතික ශිල්ප සභාවේ මැදිහත්වීම මඟින් මේ ආකාරයේ ප්‍රදර්ශනයක් සංවිධානය කරලා ඒ අත්කම් නිර්මාණය කරන ශිල්පීන්ට තමන්ගේ නිෂ්පාදන ඍජුවම අලෙවි කර ගැනීම සඳහා නිශ්චිත වෙළෙඳපොළක් නිර්මාණය කර දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.

පසුගිය කාලය තුළ ඉතාමත් නොසැලකිල්ලට භාජනය වෙලා තිබුණු මේ අයව රජයේ ඉහළ අවධානයකට ලක් කරගෙන ඒ අයගේ ගැටලු විසඳා දීමට හැකිව තිබෙනවා. මේ කටයුත්ත මේ රටේ දේශීය කර්මාන්තකරණයේ ඉතාම වැදගත් පදාසයක් ආවරණය කිරීමක් ලෙස හැඳින්විය හැකියි. පසුගිය ආණ්ඩුව කාලයේ දේශීය ශිල්පීන් විතරක් නොවෙයි දේශීය කර්මාන්ත සෑම එකක් පිළිබඳවම ඉතාම අඩු සැලකිල්ලක් දක්වලා තිබුණේ. මට මතකයි එදා හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහත්තයා පාර්ලිමේන්තුවේදි කියනවා ‘බෝගවලට පොහොර දාලා වැඩක් නැහැ. එහි කිසිම ප්‍රතිඵලයක් නැහැ’ කියලා. කෘෂිකර්මාන්තය පමණක් නෙවෙයි, ස්වදේශික සෑම කර්මාන්තයක්ම බිඳවැටෙන අයුරින් තමයි ඒ ආර්ථික ප්‍රතිපත්තිය ගොඩනගලා තිබුණේ.

‘ග්‍රාමීය කර්මාන්තවලට ඉහළ පිළිගැනීමක්’

අතිගරු ජනාධිපති ගෝඨාභය මැතිඳුන්ගෙත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන්ගෙත් නායකත්වයෙන් සකස් කෙරුණු ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නෙ ස්වදේශිකත්වය මත පදනම් වුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ඒ වගේම ස්වදේශික ජනයාගේ අභිලාෂයන් මුදුන්පත් කරවීම පරමාර්ථය බවට පත්කරගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ඒ ස්වදේශික ජනයා බල ගැන්වීම නිසා තමයි අද දේශීය කර්මාන්තවලට ග්‍රාමීය කර්මාන්තවලට, අත්කම් නිර්මාණවලට ඉහළ පිළිගැනීමක් වගේම ඉහළ අවධානයක් ලැබෙන වාතාවරණයක් හදන්න අපට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. අද සාමාන්‍ය සමාජය තුළත් ඒ ප්‍රවණතාව වේගයෙන් වර්ධනය වෙනවා. සිය රට දේ මිලදී ගැනීමේ උනන්දුව හා උද්යෝගිමත් හැඟීම වැඩිදියුණු වෙලා තියෙනවා. ඒ ප්‍රවණතාව තව තවත් බල ගන්වමින් ස්වදේශික කර්මාන්ත සහ ග්‍රාමීය කර්මාන්ත දේශීය වෙළඳපොළේ විතරක් නොවෙයි විදේශීය වෙළෙඳපොළ දක්වා ගෙන යන මෙහෙයුමක් අද වන විට දියත්වෙලා තියෙනවා.

මෙම ශිල්පීන් මුහුණ දීලා තිබුණු ඒ අඳුරු සහ අවාසනාවන්ත කාලපරිච්ඡේදය අවසන් කරලා ඉතාමත් දීප්තිමත් පැහැබර අනාගතයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කරන්න රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු අපි සියලුදෙනාටම හැකිවෙන බවට මා ඉතා ඉහළින් විශ්වාස කරනවා. එම දීප්තිමත් අනාගතය දෙස විශ්වාසයකින් යුතුව තමන්ගේ නිර්මාණ, නිෂ්පාදන වඩාත් ගුණාත්මකව ඉදිරිපත් කරන්න ඔබ සියලු දෙනාටම හැකිවෙයි කියන බලාපොරොත්තුව ඇතිව ‘ශිල්ප Thursday’ මේ හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන ප්‍රදර්ශනයට කර්මාන්ත ඇමතිවරයා හැටියට අපගේ සුබපැතුම් පිළිගන්වනවා.”

මෙම අවස්ථාව අමතා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද අදහස් දැක්වූ අතර පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්. ඒ. බී. වී බණ්ඩාරනායක මහතා විසින් අරමුණ පැහැදිලි කළේය. සමාරම්භක උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමඟ ඇලෙවි කුටි නැරඹීම සඳහා විමල් වීරවංශ, ප්‍රසන්න රණවීර යන අමාත්‍යවරු එක් වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*